“ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ශිෂ්ඨාචාරය පිළිබද සාරාංශගත සටහනක් – 1 කොටස”

27 Dec

මුල් කාලීන අරාබි දේශ සංචාරකයන් හා යාත්‍රිකයින් තබා යන ලද සටහන්, අන්‍ය සමාජයන්හි සාහිත්‍ය හා ඓතිහාසික ග්‍රන්ථ මෙන්ම යුරෝපීය පාලකයන් ඉතිරි කල සටහන් ආදියෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් හා ලංකාවේ ඉස්ලාමීය ව්‍යාප්තිය පිළිබදව යම් අදහසක් ලබා ගත හැක.

ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ඉන්දියන් සාගරයේ පිහිටි අරාබි ජනයාගේ වෙළද කටයුතු සමග සමීප සම්බන්ධතාවයක් සහිත වූවකි.

පර්සියානු බොක්කෙන් ආරම්භ වී චීනයේ කැන්ටන් වරාය දක්වා දිවෙන පුළුල් පෙදෙසක් මෙම අරාබි වෙළදාමට අයත් විය. ඉන්දියන් සයුරේ සුළං හමන රටාවෙහි මෙම වෙළදාම රැදී පැවති අතර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව නැගෙනහිරට හා බටහිරට පැවති වෙළද මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් විය. එය ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළද මාර්ගයේ ප්‍රධාන තැනක් ගැනීමට ප්‍රධාන සාධකයවිය.

නැව් ආරක්ෂාකාරීව නවතා තැබිය හැකි වරායවල් පිහිටීම , අවශ්‍ය ප්‍රමාණයට කුළු බඩු ලබා ගැනීමට හැකිවීම මෙන්ම පිරිසිදු ජලය ලබාගැනීමට තිබූ පහසුකම ශ්‍රී ලංකාව වෙළදාමේ ප්‍රධාන තැනක් ගැනීමට හේතු වූ අනෙක් සාධක වේ. මෙලෙස ඉස්ලාම් දහම බිහිවීමටත් පෙර සිට ශ්‍රී ලංකාවේ අරාබි ජනාවාස බිහිවීමට මෙම කරුණු හේතුවිය.

රෝම අධිරාජ්‍යයේ වර්ධනයට සමගාමීව අරාබිවරුන් පෙරදිගට පැමිණීම ආරම්භ විය. ක්‍රි: පූ: 27 දී බලයට පත් ප්‍රථම රෝම අධිරාජ්‍යයා වූ ඔගස්ටස් ගේ පාලන සමයේ දියුණු වූ අන්තර්ජාතික වෙළදාම මෙලෙස ක්‍රිස්තු වර්ෂයේ ආරම්භක යුගයේ සිට පෙරදිගට ව්‍යාප්තවිය. අරාබි වෙළෙන්දන් ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් පැමිණීම මෙහි ප්‍රතිඵලයකි. 

ප්‍රාග් ඉස්ලාමීය අරාබිවරුන් ශ්‍රී ලංකාව හැදින් වූයේ ජසිරාත් අල් යාකූත් නමිනි. මෙහි අර්ථය රතු මැණික් දිවයින යන්නයි. ශ්‍රී ලංකාවේ රතු මැණික් අරාබි වෙළදුන් අතර ප්‍රසිද්ධ වී තිබූ බව මින් පැහැදිලි වේ. 

ශ්‍රී ලංකාවේ අරාබි ජනාවාස පිළිබද වැඩිදුර කතිකාවේදී පහක සාධක ඉතා වැදගත් වේ.

පසුගිය වසර 2000 ට පෙර සිටම අරාබි ජනයා ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස ජීවත්වූ නිසා ආදිවාසී ජනයා තරම්ම ඔවුන්ද පුරාණ අය ලෙස සලකණු ලබන බව හිටපු පුරාවිද්‍යාඥ ආචාර්ය බාලේන්දු සදහන් කරයි.

ක්‍රි: පූ: 437 – 367 සමයේ අනුරාධපුරයේ රජකල පණ්ඩුකාභය රජතුමා විදේශීය වෙළදුන් සදහා වෙනම ජනපද පිහිටවූ බවද එහි යවනයින් සදහා වෙනම ජනපදයක් වෙන්කර තිබූ බවටද මහා වංශයේ සදහන් වන බවත් මහාවංශයේ යවනයින් ලෙස දැක්වෙන්නේ අරාබිවරුන් පිළිබදව බවත් මහාවංශය පිළිබද පර්යේෂණ පවත්වා පරිවර්තනය කල ගයියර් පවසයි. 

ක්‍රි:ව: 640 දී යෙමන් රාජ්‍ය වාසිකයින් දෙනෛකු පැමිණිබවත් ඉන් අයෙකු මන්නාරමේ හා අනෙක් පුද්ගලයා බේරුවල යන ප්‍රදේශවලට ගොඩබැසූ බව වාන්කාන්ඩර් නම් තැනැත්තා යෝනක නම් ග්‍රන්ථයේ සදහන් කරයි.

මෙමගින් ශ්‍රී ලංකාව හා අරාබිවරුන් අතර සමීප සබදතා තවදුරටත් පැහැදිලි වේ.

මෙලෙස අරාබිවරුන්ගේ මෙම ජනපද සම්ප්‍රදාය ඉස්ලාම් බිහිවීමෙන් පසුවත් ඒ අයුරින්ම පැවතිණ. එපමණක් නොව ඔවුහු ස්වදේශීය කතුන් විවාහ කරගත්හ. එතෙක් අරාබි වෙළදුන් ලෙස හැදින් වූ ඔවුන් පසුව අරාබි මුස්ලිම් වෙළදුන් ලෙස හැදින්වීමට පටන් ගත්තේය. මෙලෙසින් මුස්ලිම්වරු ලෙසින් පදිංචි වූ අරාබි ජනයාගේ ඉස්ලාමීය සදාචාරාත්මක ගුණයන්ද, වෙළද කටයුතු වල ඔවුන් දැක්වූ අවංකභාවයද , අනෙකුත් යහපත් ලක්ෂණද ඉස්ලාම් දහම ශ්‍රී ලංකාවේ පැතිරීමට හේතු සාධක විය. 

සිද්දිලෙබ්බෙයි මහතා මුස්ලිම් නේෂන් පුවත්පතට අල්කියාබාකරි ග්‍රන්ථය සාධක වශයෙන් ඉදිරිපත් කරමින් මෙසේ ලියයි. “ක්‍රි:ව: 628 දී නබි (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමිවේවා) තුමාණන් විසින් වහාබ් ඉබ්නු අබී හබ්සා නම් සහාබිවරයා ( චීන රජු වෙත ඉස්ලාම් දහම පිළිබද පණිවිඩය ගෙන ගියේද මෙම සහාබිවරයාය.) ලංකාවේ රජු වෙත එවනු ලැබුවේය. මෙහි පැමිණි ඔහු නබි (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමිවේවා) තුමාගේ ලිපිය රජතුමා වෙත භාර දුන් පසු සහාභිවරයාගේ කාර්යය කිරීමට රජතුමා අවසර දුන් අතර මස්ජිදයක් ඉදිකිරීමටද අවසර දුන්නේය. කැමති අයට එම ආගම වැළද ගැනීමටද අවසර දුන්නේය. එම සහාබිවරයා එවකට මෙහි වාසය කල අරාබිවරුන්ට ඉස්ලාම් දහම දේශනා කල අතර ඇතැමුන් එම ආගම වැළදගත්තේය. ක්‍රි:ව:632 දී ඔහු ආපසු අරාබියටපිටත්ව ගියේය.”

අරාබියේ අළුත් ආගමක් බිහිවූ බව දැනගත් ශ්‍රී ලංකාවේ මහරජ දෙවන අග්‍රබෝධි රජතුමා (ක්‍රි:ව: 623 – 633) ඒ පිළිබදව දැන ගැනීම සදහා දූත පිරිසක් යවා තැබීය. මෙම පිරිස අරාබියට ළගාවූ අවස්ථාව වන විට නබි (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමිවේවා) වෆාත් වී (ජීවිතයෙන් සමුගෙන) සිටි අතර දෙවන කලීෆා උමර් (එතුමාට සාමය හිමිවේවා) එවකට පාලකයා විය. උමර් (එතුමාට සාමය හිමිවේවා) තුමාව හමුවූ දූත පිරිස එතුමාගෙන් ඉස්ලාම් පිළිබද දැනගෙන ලංකාවට පෙරළා පැමිණෙන විට මක්රාන් හිදී (වර්තමාන කරච්චියේදී) දූතයෙකු අභාවයට පත්විය. අනෙක් දූතයා ලංකාවට පැමිණ තමා දැනගත් තොරතුරු දැන්වීය. ඉතිහාසඥයෙකු වූ ඉබ්නු ෂහ්ර්යාර් අජාබුල් හින්ද නම් තම ග්‍රන්ථයේ මෙම තොරතුරු සදහන් කරයි.

උමෛයා කලීෆා වරුන් වන කලීෆා අබ්දුල් මලික් (686 – 707) හා කලීෆා වලීද් (705 – 715) යන අයගේ කාල වල ආණ්ඩුකාර හජ්ජාජ් ගේ තාඩන පීඩනවලට බිය වූ හාෂිම්වරු තමිල්නාඩුවේ මලක්කාවේ හා ශ්‍රී ලංකාවේ පදිංචි වූහ. ශ්‍රී ලංකාවේ ඊසාන දිග හා වයඹ දිග පිහිටි ත්‍රිකුණාමලය , පුත්තලම , යාපනය , මාන්තොට , මන්නාරම , කුතිරමලෙයි , කොළඹ හා බේරුවල (බාබරින්) වැනි ප්‍රදේශ වල මෙසේ පදිංචි වූ මුස්ලිම්වරුන් දිවි ගෙවූ බව ඇලෙක්සැන්ඩර් ජෝස්ටන් නම් ලේඛකයා සදහන් කරයි. 

ශ්‍රී ලංකාවේ ජීවත් වූ මුස්ලිම්වරුන් තමන්ට ආගමික නීති රීති පිළිබද ඉගෙන ගැනීමට සදහා උපදේශකවරයෙකු එවන ලෙස බැග්ඩෑඩය පාලනය කල අබ්බාසීය කලීෆා හාරූන් අල් රෂීද් වෙත ඉල්ලීමක් කල අවස්ථාවේ හිජ්රි 300 දී කාලීෆා කාලිද් ඉබ්නු අල් බකායා ශ්‍රී ලංකාවට එවන ලදී. නිසි ලෙස තම වගකීම් ඉටුකල ඔහු හිජ්රි 317 දී අභාවප්‍රාප්ත වූ අතර කොළඹදී භූමිදානය කරන ලදී. ඔහු සිහිකිරීමක් වශයෙන් භූමිදානය කල ස්ථානයේ ස්ථාපිත කිරීමට කලීෆා හාරූන් විසින් බැග්ඩෑඩ් හි සිට සොහොන් ගලක් (Tomb Stone) එවා තිබිණ. එය අදවන විට කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 

කොළඹින් දුරස් වූ පුලියන් තීවු , ත්‍රිකුණාමලය හා මඩුල්බෝව වැනි ස්ථාන වලින් සොයා ගන්නා ලද සොහොන් ගල්ද මෙරට මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය දැක්වෙන සාධකයකි. මුතුරාජවෙල , මීගමුව, වත්තල , ගම්පොල හා ගලගෙදර වැනි ස්ථාන වලින් හමුවූ අරාබි කාසිද එකී ව්‍යාප්තිය තවදුරටත් තහවුරු කරනු ලබන තවත් සාධකයකි.

ශ්‍රී ලංකාවේ අරාබි ජාතිකයින් පදිංචි වීමටත් , ජනපද බිහි බීමට හා ඉස්ලාම් දහම ව්‍යාප්තියටත් වෙළදාම ප්‍රධාන සාධකය විය. නැගෙනහිර හා බටහිර අතර පැවති ප්‍රධාන ස්ථානය ගත් වරාය ආශ්‍රිත නගර එකල ප්‍රධාන වෙළද මධ්‍යස්ථාන විය. සුළං පහර ආධාරයෙන් මුහුදු ගමන් ගිය අරාබි වෙළදුන් දකුණු ඉන්දියවේ වෙරළබඩ වරාය ආශ්‍රිත නගර හෝ ලංකාවේ වරායන්හි ලැගුම් ගෙන ගියහ.

වෙරළ ආශ්‍රිතව ලබාගත හැකි සේවාවන් හේතුවෙන් මෙසේ නැවතී යාම මෙන්ම පසුව එම ප්‍රදේශයන්හි අරාබි ජනාවාස බිහිවීමටද මෙම සේවාවන් හේතු විය. ක්‍රිස්තු වර්ෂයට පෙර සිටම ලංකාවෛරළබඩ නගර වල හා අනුරාධපුරය වැනි අභ්‍යන්තර නගර වලද අරාබි වෙළදුන් විසූ බවට ඉතිහාසඥයෝ පවසති. මෙලෙස වෙළදාම් කටයුතු කිරීමේ අරමුණින් ජනාවාස වූ අරාබි ජනයාගේ ඉස්ලාමීය වත් පිළිවෙත් ස්වදේශීය ජනයාගේ මහත් පිළිගැනීමට ලක්විය. 

ශ්‍රී ලාංකාවේ ඉස්ලාම් දහම දියුණු වීමට දායකවූ තවත් කරුණක් ලෙස දකුණු ඉන්දීය මුස්ලිම්වරුන් හා ලාකීය මුස්ලිම්වරුන් ඇති කරගත් සම්බන්ධතා දැක්විය හැකිය.අරාබි මෙන්ම ඉන්දීයානු වෙළදුන්ද ලාංකීය වෙරළබඩ නගර වල පදිංචි වී ජනාවාස පිහිටුවා ගත්හ. 

“…දකුණු ඉන්දියාවේ තිබෙන නාගූර් , කාරයිකාල් , තොණ්ඩි හා කායල් පට්ටනම් වැනි ප්‍රෙද්ශ වලින් මුස්ලිම්වරුන් වෙළදාම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූහ.” යනුවෙන් සිද්දි ලෙබ්බෙයි පසා ඇත

ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළබඩ නගර වල ඉස්ලාමීය ව්‍යාප්තිය පිළිබද පහත කරුණු සාධක ලෙස දැක්විය හැකිය. 

ක්‍රි:ව: 12 දී මුස්ලිම් වෙළදුන් විශාල පිරිසක් වැලිගම ප්‍රදේශයේ ධනවතුන් ලෙස ජීවත්වූ අතර එසේ දිවි ගෙවූ ආර්ථිකව දියුණු මුස්ලිම්වරු පෘතුගීසීන් විසින් කොල්ලකනු ලැබූහ. 

14 වන සියවසේ ගාල්ලේ මුස්ලිම්වරුන් ජීවත් වූ බවට ඉබ්නු බතූතා ගේ සංචාරක සටහනෙහි සදහන් වන ඔහු බේරුවලට ගිය අවස්ථාවේ දී නාහුර් ඉබ්රාහීම් යන නාවික නායකයා තමාට සංග්‍රහයක් පවත්වා ගෞරව දැක්වූ බවට කරනු ලබන සටහන මෙයට සාධක ලෙස දැක්විය හැක. 

ක්‍රි:ව: 10 වන ශතවර්ෂයේ පටන් බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් වර්ධනය වී පැවතිණ. ක්‍රි:ව: 930 ට අයත් මෙහි සොයාගත් සොහොන් ගලද ක්‍රි:ව: 1010 ට අයත් පෙරිය තම්බි මරික්කාර් ට ලාංකීය රජු විසින් ප්‍රදානය කල තඹ සන්නසද තවත් සාධක දෙකකි.

 

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය වර්ධනයට අරාබියෙන් පැමිණි ආගමික ප්‍රචාරකයන්ගේ දායකත්වය අති මහත්ය. 

ලාංකීය මුස්ලිම්වරුන් අතර ආගමික භක්තිය හීන වී පැවති කාල වකවානුවලදී ඔවුන් වෙත ආගමික දේශන පවත්වා ඔවුන් යහමගට ගැනීමට බැග්ඩෑඩයේ කලීෆාවරයා විසින් කාලිද් ඉබ්නු බකායා නම් දේශකයා එවන ලද අතර එතුමාගේ සොහොන් ගල කොළඹදී සොයා ගැනීමෙන් කොළඹ එවකට මුස්ලිම් ජනාවාස වල මධ්‍යස්ථානයක් ලෙස පැවති බව පැහැදිලි වේ.

මෙලෙස මෙම යුගයේදී ඉස්ලාම් දහම ස්ථාවර වීම සදහා අවශ්‍යය සියළුම අධ්‍යාපන පහසුකම් ලබා දුන් බව සර් ඇලෙක්සැන්ඩර් ජොන්සන් ගේ පහත සදහන් ප්‍රකාශයෙන් පැහැදිලි වේ. 
“පර්සියානු බොක්ක, බසරාව ආදිය හරහා බැග්ඩෑඩ් සමගද , අනෙකුත් කිලාෆත් රටවල් සමගද , අරාබි මුහුද හා ඊජිප්තුව හරාහා මධ්යිධරණී මුහුදු ප්‍රදේශයේ මුස්ලිම් රාජ්‍යය සමගද , එසේම ස්පාඤ්ඤයේ මුස්ලිම් රජ සමගද පවත්වාගෙන ගිය සබදතා මගින් ඔවුන් මෙම රටවල පැවති ඉස්ලාමීය නීති රීති පිළිබද විවිධ අරාබි මූලාශ්‍ර ග්‍රන්ථ ශ්‍රී ලංකාවට හදුන්වා දුන්හ.”

 

පහත කරුණුද තවදුරටත් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය වර්ධනය පිළිබදව සාධක ලෙස දැක්විය හැක.

1. ක්‍රි:ව: 12 වන සියවසට අයත් අරාබි දේශ ගවේෂකයෙකු වූ අල්ඉද්රිස් ගේ ප්‍රකාශයක් වන “එකල ලංකාවේ පැවති සියළුම ආගම් මෙන් ඉස්ලාම් ආගමද සමාන සැලකූ අතර එකල රජපගේ උපදේශකවරුන් ලෙස මුස්ලිම් ඇමතිවරු 4 පත්කර සිටින ලදි.” යන ප්‍රකාශය දැක්විය හැක.

2. “මුල් කාලීනව වෙරළබඩ නගරයන්හි වර්ධනය වී පැවති ඉස්ලාම් දහම පසුව රට අභ්‍යන්තරයේද ක්‍රමිකව වර්ධනය වීම ඇරඹිණ. යාපහුව , කුරුණෑගල, දඹදෙණිය වැනි ප්‍රදේශ වල හිජ්රි 4 වන ශතවර්ෂයේදී ඉස්ලාම් දහම පැතිර පැවති බව” අල් ඉද්රීස්ගේ ප්‍රකාශයන්ට අනුව දැක්වේ. 

3. ඉබ්නු බතූතා ගේ සටහන් වලට අනුව පුත්තලම හා කුරුණෑගල පිළිබදව විශේෂයෙන් සදහන් කරයි. 
“කුරුණෑගල අගනුවර කර ගනිමින් රජකළ දෙවන බුවනෙකබාහු රජ මැදගෙඩිය කුමාරිහාමිනේ නම් අස්වැද්දුම ගමෙහි විසූ මුස්ලිම් කාන්තාව විවාහ කර ගත්තේය. මෙම දෙදෙනාට දාව උපන් වස්තු හාමි මුස්ලිම්වරයෙකු ලෙස හැදී වැඩුණු අතර අවසානයේ ඔහු රජකමට පත්වීම පිළිබද අකමැති වූවන් සමහරක් විසින් ඔහුව මරා දමන ලදී. ගලේ බණ්ඩාර ඖලියා නමින් ඔහු ඝාතනය කල ස්ථානයේ සොහොන අදටත් පවතිනු දැකිය හැක.” 

තවදුරටත් කරුණු සදහන් කරන ඉබ්නු බතූතා මෙසේද සදහන් කරයි. 

“කුරුණෑගලට තමන් ගිය බවද ශේක් සිරාසි යන අය එහි මස්ජිදයක වාසය කරමින් සමනළ කන්දට වන්දනාවේ යන බැතිමතුන්ට මාර්ගය පෙන්වා දෙමින් සිටි බවද සදහන් කරයි.” ඉබ්නු බතූතාගේ මෙම සටහන කුරුණෑගල ආශ්‍රිතව ඉස්ලාම් ආගම පැතිර පැවති බවට සාධක සපයයි.

 උපුටා ගැනීම

https://www.facebook.com/islamsinhalen

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: