ජවිපෙ ඉතිහාසය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය 02

23 Dec

 

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 21

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරුවන් හා තරුනයන් ධනපති ක‍්‍රමයට කොටු කර දීමේ කි‍්‍රයා කලාපයක යෙදී සිටී.

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක දෙවන කොටසයි. පලමු වනකොටස ඊයේ පලවිය.

2012 අපේ‍්‍රල් මාසයේ දී පෙසප දියත් කරන විට, ජවිපෙ අවස්ථාවාදී දේශපාලනයෙන් තමන් බිඳුනේ යැයි ප‍්‍රකාශ කරමින් 1978-2012 ජවිපෙ ගමන් මග: පක්ෂය දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් සහ අනාගතය වෙත ප‍්‍රවේශයක් (ස්වයං විවේචනය)නමින් පොතක් නිකුත් කලේ ය. මෙම පොත තහවුරු කරන්නේ ජවිපෙ දේශපාලන කුනුවීම පමනක් නොව තමන්ගේ දක්ෂිනාංශික දේශපාලන උපාමාරුවට කවරයක් ලෙස ව්‍යාජ වාම වචන දොඩවන නමුත් පෙසප ද එම දේශපාලනයෙන් බිඳී නැති බවයි.

1965 ජවිපෙ පිහිටුවනු ලැබුවේ, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ද පාවා දෙමින් 1964 දී ලසසපය ධනපති ශී‍්‍රලනිපය සමග හවුල් ආන්ඩුවකට ඇතුලුවීමෙන් ජනිත කෙරුනාවූ ගැඹුරු දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. 1953 අගෝස්තු 12 දා හර්තාලයෙන් ප‍්‍රකාශයට පත් කෙරුනා වූ 1950 ගනන්වල කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයට වල කැපීම සඳහා ඇවිස්සූ ශී‍්‍රලනිපයේ සිංහල අධිපතිවාදයට ලසසප නග්නවම අනුගත විය.

ලසසප පාවාදීම සූදානම් කරනු ලැබුවේ, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කරමින් හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගුනා වූ පැබ්ලෝවාදී සංශෝධනවාදී ප‍්‍රවනතාවේ නායකයින් විසිනි. පැබ්ලෝවාදී ප‍්‍රවනතාව ධනවාදයේ පශ්චාත් යුදකාලීන සමථයට අනුගත වූ අතර ස්ටැලින්වාදී නිලධරය ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ප‍්‍රකාශ කලේ ය. ට්‍රොට්ස්කිවාදී පක්ෂ ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික ධනපති පක්ෂවලට ඇතුලු වී ඒවා වමට තල්ලු කල යුතුයැයි පැබ්ලෝවාදියෝ කියා සිටියහ. ලසසපය පැබ්ලෝවාදීන්ගේ මෙම පිලිවෙතට සහයෝගය දුන්නේ ය. පැබ්ලෝවාදියෝ, අනෙක් අතට, ධනේශ්වර සභාගයක් තුලට පැද යාමට ලසසපයට අනුබල දුන්හ.

ලසසප පාවාදීම, 1960 ගනන්වල ජවිපෙ ද, 1970 බලයට ආ ශී‍්‍රලනිප-ලසසප-කොප දෙවන සභාග ආන්ඩු සමයේ එල්ටීටීඊයේ ද පැන නැගීම ඇතුලු සුලු ධනේශ්වර කන්ඩායම්වල මතුවීමට දොර හැරියේ ය.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි විජේවීර පීකිං කන්ඩායම ඉන් වෙන් ව මා ඕවාදී පක්ෂයක් තනන විට ඊට එක් වී පසුව ඉනිදු කැඩී ගොස් ජවිපෙ සංවිධානය කලේ ය. මා ඕවාදය හා කස්ත්‍රෝවාදය සිංහල ජාතිවාදය සමග මිශ‍්‍ර කර ගත් ජවිපෙ දේශපාලනය ගම්බද දුගීන්ගේ විමුක්තිය සඳහා වෙනම මාවතක් ඇතැයි ප‍්‍රකාශ කරමින් දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් තැනීමට කැප වී ගත් එකක් විය.

1968 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩ නැගුනේ 1960 ගනන්වල පැන නැගි මේ දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. ලසසප පාවාදීමට හා පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව හජාජාක කල අරගලයේ පාඩම් උකහා ගනිමින් විකොස සකලාකාර ජාතිකවාදයන් ප‍්‍රතික්ෂේප කලේ ය. විකොස ඉදිරි දර්ශනය පාදක වූයේ, පසුගාමී රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කල හැකි වන්නේ කම්කරු පන්තිය, ගම්බද දුගීන්ට නායකත්වය ලබා දෙමින් සිදු කරන සමාජවාදී විප්ලවයේ අතුරුඵලයක් ලෙස ය යන්න අවධාරනය කල ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත ය.

එවක විකොස ප‍්‍රධාන ලේකම්ව සිටි, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය 1970 දී ලියූ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමැති ලිපි මාලාවෙන් (මෙම ලිපි මෙනමින් ම පොතක් වශයෙන් මුද්‍රනය කර ඇත) තීක්ෂන විශ්ලේෂනයකින් ජවිපෙ දේශපාලන වංකගිරිය හා ප‍්‍රතිගාමී ස්වභාවය එලිදරව් කලේ ය.

කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තිය මෙම ධනවාදී යුගයේ ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය ය යන කම්කරු පන්තිය පිලිබඳ මාක්ස්වාදී විද්‍යාත්මක ආස්ථානය ප‍්‍රතික්ෂේප කරමින් නිර්ධන පන්තිය යනු ගම්බද දුගීන් ඇතුලු සියලු පීඩිතයන් අන්තර්ගත කර ගත් සමාජ ඛන්ඩයක් යයි පරාගතවාදී සුත‍්‍රයක් ජවිපෙ ඉදිරිපත් කලේය. ජවිපෙ ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය – එනම් විප්ලවයේ පලමු අවධිය යනු ජාතික ධනේශ්වරය සමග පෙල ගැසී කරන ධනේශ්වර විප්ලවයකට ද සමාජවාදී විප්ලවය අනාගත අවධියකට ද බෙදීම – වැලඳ ගනිමින් ජාතික ධනපති පන්තිය ප‍්‍රගතිශීලී කර්තව්‍යයන් ඉටු කිරීමට සමත් බව ප‍්‍රකාශ කලේ ය.

තම කොන්දේසි වැඩි දියුනු කරගැනීමට කම්කරුවන් අරගලයට ආ විට ජවිපෙ ඒවා හෙලා දුටුවේ, “කැඳ කෝප්ප සටන්” ලෙස යි. ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන් හංවඩු ගැසුවේ “වරප‍්‍රසාදිත කන්ඩායමක්” සහ “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” ඉත්තෙක් ලෙස ය. – මෙම ආස්ථානයෙන් පෙන්නුම් කෙරුනේ ජවිපෙ දේශපාලනය තුල අනාගත ෆැසිස්ට්වාදී දිශාවනතියක බීජ බව බාලසූරිය පැහැදිලි කලේ ය.

තමන්ගේ සුලු ධනපති න්‍යායන් මත පාදකව 1971 අපේ‍්‍රල් මාසයේ ජවිපෙ දියත් කල අතිධාවනකාරී ගරිල්ලා නැගිටීම පාලක සභාග ආන්ඩුව විසින් තලා දමනු ලැබුවේ 15,000 ගම්බද තරුනයින් ඝාතනය කරමිනි.

1971 ව්‍යසනය ජවිපෙ ගැන විකොස විශ්ලේෂනය සනාථ කලේ ය. 1970 සභාග ආන්ඩුව බලයට ගෙන ඒමට කි‍්‍රයාකරන අතර ම එය “ප‍්‍රතිවිප්ලවයන්ගෙන්” ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින් ජවිපෙ සිදු කල අවස්ථාවාදී අනුගත වීම විකොස හෙලිදරව් කලේය. කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කොට දියත් කෙරෙන හුදකලා, අතිධානවකාරී ගරිල්ලා කැරැල්ලකින් සභාග ආන්ඩුවේ අත් ශක්තිමත් කරන බව විකොස අවධාරනය කලේ ය. කෙසේවුවත්, තම මූලධර්මාත්මක දේශපාලන ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විකොස බලගතු අරගලයක මූලිකත්වය ගත්තේ ය.

මෙම අර්බුදයෙන් පසුව, විජේවීර 1978 දී, 1971 අපේ‍්‍රල් දෙස ස්වයං-විවේචනාත්මකව ආපසු හැරී බලමු නම් වූ ස්වයං විවේචන ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. එය ජවිපෙ දේශපාලන ආවෘත අන්තය ආවරනය කිරීමකි. ඔහු ප‍්‍රකාශ කලේ තම පක්ෂය බිහිවූයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ “මෙන්ෂෙවික්වාදී ගර්භාෂයෙන්” බවයි. ස්ටැලින්වාදයට සහ ලසසප-කොප දේශපාලනයට විරුද්ධ වීම බඳු හොඳ ගුනාංග ද පක්ෂය සතුව තිබුනු බව ඔහු කියා සිටියේ ය. මේ ප‍්‍රකාශ අමු බේගල් ය. ජවිපෙ ස්ටැලින්වාදී දේශපාලනයේ ගිලුනු, සභාගයට පිටුබලය දුන්, පක්ෂයකි. ස්වයං විවේචනයක නමින් සාරසංග‍්‍රහවාදී අච්චාරුවක් ඔහු ඉදිරිපත් කලේ කලකිරුනු සාමාජිකයන් පක්ෂයට බැඳ තබා ගැනීමට ය.

පක්ෂය ස්වයං විවේචනයෙන් පාරිශුද්ධ කර ගත්තේයැයි විජේවීර කල පූච්චානම දෙඩවීම වනාහී 1977 බලයට ආ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ යූඇන්පී ආන්ඩුව කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව දියත් කල රුදුරු ප‍්‍රහාරයට අනුගත වෙමින් ජවිපෙ ගත් වේගවත් දක්ෂිනාංශික හැරීම ආවරනය කෙරුනු වෙස් බැඳීමක් විය. ශී‍්‍රලනිප-ලසසප-කොප හවුල් ආන්ඩුවට එරෙහි මහජන කෝපය ගසාකෑමට ජයවර්ධන ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කලේ ය. එහෙත් ඔහුගේ ගනන් බැලීම වූයේ මෙම සුලු ධනපති ව්‍යාපාරය කම්කරු පන්තියට එරෙහි ප‍්‍රතිබලයක් ලෙස යොදා ගැනීම යි. ජවිපෙ එම ක‍්‍රියා කලාපය ලජ්ජා විරහිත ලෙස ඉටු කලේ ය.

කම්කරු පන්තියට එරෙහි යූඇන්පී ආන්ඩුවේ ප‍්‍රහාරය ගෝලීය ක‍්‍රියාවලියක කොටසක් විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇතිකල සමථයෙන් පසු ලෝක ධනවාදයේ ප‍්‍රථම බරපතල ආර්ථික අර්බුදය, 1971 අගෝස්තුවේ ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ඩොලරයේ රන් පදනම ඉවත් කිරීමෙන් සලකුනු කෙරුනි. ඉන් ඇති කෙරුනු අර්බුදය පටවමින් සෑම රටකම කම්කරු පන්තියේ කොන්දේසිවලට එල්ල කල ප‍්‍රහාර පෘතුගාලය හා ග‍්‍රීසිය ඇතුලූ යුරෝපීය රටවල විප්ලවවාදී අරගල පුපුරා ඒමට තුඩු දුන්නේ ය. ඇමෙරිකාව තුල පන්ති ගැටුම් ද දේශපාලන විපර්යාසයන් ද තියුනු විය. බොහෝ යටත්විජිත හා අර්ධ යටත්විජිත රටවල් ද ඒ සමාන කැරැලිකාරීත්වයන්ගෙන් ඇලලුනි.

පැබ්ලෝවාදීන්ගේ සහාය ලද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂවල උදව්වෙන් මහජන විප්ලවවාදී රැල්ල මැඩලා ගැනීමට ඒ ඒ රටවල ආන්ඩු සමත් විය. පසුගාමී රටවල ලාභ ශ‍්‍රම තටාකවලට කඩාවැදී සූරාකෑම උග‍්‍ර කර සුපිරි ලාභ උපුටා ගැනීමට, වර්ධනය කෙරෙමින් පැවැති නව තාක්ෂනය ද යොදා ගෙන ගෝලීය පරිමානයෙන් නිෂ්පාදනය සංවිධානය කිරීමට ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් හැරුනි. මේ ප‍්‍රහාරයේ ආරම්භක අවස්ථාවේ ම විදේශ ආයෝජකයන්ට ආර්ථිකය විවෘත කර දීමට හැරුනු රට ලංකාව යි.

ජයවර්ධන අධිකාරිවාදී ජනාධිපති පාලනයක් පිහිටුවමින් කප්පාදු වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමා විවෘත ආර්ථික පිලිවෙත පෙරට තල්ලූ කලේ ය. මෙම ප‍්‍රහාරයේ කොටසක් ලෙස 1980 ජූලි මහා වර්ජනය මර්දනය කර රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂයක් රැුකියාවලින් නෙරපා හැරුනි. අන් සියල්ලටමත් ඉහලින්, දෙමල විරෝධී ස්වෝත්තමවාදී ප‍්‍රකෝපකරනයන් මාලාවකට පසුව ජයවර්ධන 1983 දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය ඇවිල වූයේ කම්කරු පන්තිය වාර්ගිකව බෙදා තම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමට ය. 1983 ජූලිවල දකුනු ප‍්‍රදේශයේ, වෙසෙසින් ම ලංකාවේ ප‍්‍රධාන කම්කරු පන්ති මධ්‍යස්ථානය වූ කොලඹ දෙමල විරෝධී ජනඝාතන කැරැලි ඇවිලවූ ආන්ඩුව ජවිපෙ, නසසප හා කොපට කැරැලිවල වගකීම පටවමින් එම පක්ෂ තහනම් කිරීමට පියවර ගත්තේ ය.

මෙම වකවානුව ගැන සිය ස්වයං විවේචනයේ ලියන පෙසප ව්‍යාජ විවේචනයකට මුවා වී ජවිපෙ සීග‍්‍රයෙන් දකුනට යාම ආවරනය කරයි. 1980 නිකුත් කල ජවිපෙ විප්ලවවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නම්වූ ලියවිල්ල “විවෘත ආර්ථිකය හෙවත් නව-ලිබරල්වාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රථම ඉනිම පැහැදිලිව හඳුනා ගෙන නැත” යන්න එක් විවේචනයකි. ලැයිස්තු කර ඇති ජවිපෙ අනෙකුත් “වැරැදිවලට” විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට විරුද්ධව ”ප‍්‍රමානවත් අරගලයක් නොකිරීම” සහ හිටපු අගමැති සිරිමා බන්ඩාරනායකගේ සිවිල් අයිතීන් අහෝසි කිරීමට ආන්ඩුව ගත් පියවරට සහයෝගය දීම ඇතුලත් ය. දෙමල ජනයාට එරෙහි ප‍්‍රහාර එල්ල කිරීම ගැන “ප‍්‍රමානවත් අවධානයක් පක්ෂය නොදුන්” බව පෙසප ප‍්‍රකාශ කරයි. නමුත්, පෙසප 1980 ජූලි වර්ජනයට එරෙහිව පක්ෂය කල හොරිකඩකම ආරක්ෂා කරයි. පලල් ලෙස අපකීර්තියට පත් වූ මෙම කම්කරු විරෝධී ක‍්‍රියාව නිසා ලංකා ගුරු සංගමය ජවිපෙන් කැඩී වර්ජනයට සහභාගී විය.

මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියා සරල “වරදවල්” නොවේ. ඒවායින් පෙන්නුම් කෙරුනේ ජවිපෙ දක්ෂිනාංශික ගමන හා එය යූඇන්පීය සමග නොනිල සන්ධානයක සිටීම ය. ජවිපෙ දෙමල ජනයාට එරෙහි ප‍්‍රහාර ගැන “ප‍්‍රමානවත් අවධාරනයක් නොදුනේනේ” එය සිංහල වර්ගවාදය තුල කිඳී සිටීම නිසා ය. යුද්ධය පටන් ගත් තැන් පටන් ජවිපෙ එහි ප‍්‍රධානත ම කසකරුවා ලෙස ඉදිරිපත් වූවේ ය. පෙසපය, ජවිපෙ විසිහය අවුරුදු මෘග යුද්ධයට සහාය දීමට විරුද්ධ වී නැතිවා පමනක් නොව තමන් ද යුද්ධයට විරුද්ධ නැති බව අඟවා සිටී. අනෙකුත් ධනේශ්වර හා ස්වෝත්තමවාදී කන්ඩායම්වල මෙන් ම ජවිපෙ ද පිලිවෙත වූයේ ඒකීය ධනේශ්වර රාජ්‍යය රැකීම යි.

මර්දනකාරී යුද්ධයට මුහුන දුන් උතුරු-නැගෙනහිර දෙමල ජනයා දසහස් ගනනින් දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ද ඇතුලු විදෙස් රටවලට සරනාගතයන් ලෙස පැන ගියහ. ලංකාවේ දෙමල ජනයාට එරෙහිව මර්දනය තමිල්නාඩුවේ වෙසෙන සමීප ජනාවාර්ගික සම්බන්ධකම් ඇති ජනයා අතර බරපතල නොසන්සුන්කමක් ඇවිල වූවේ ය. තමිල්නාඩුවේ දේශපාලන අස්ථාවරත්වය සන්සිඳුවීමට නව දිල්ලිය කලේ ලංකාවේ දෙමල, සිංහල හා මුස්ලිම් ප‍්‍රභුන් අතර සීමිත බලය බෙදීමක් සඳහා “දේශපාලන විසඳුමක්” යෝජනා කිරීම යි.

ජවිපෙ මෙය ඩැහැ ගත්තේ ශ‍්‍රී ලංකා “මාතෘ භූමිය” ඉන්දියාව විසින් ආක‍්‍රමනය කිරීම අත ලඟ යැයි හඬතලමින් ස්වෝත්තමවාදී උද්ඝෝෂනය ත‍්‍රීව‍්‍ර කිරීමට යි. ඒ මුවාවෙන් “ජාතිය ගලවා ගැනීමේ” නමින් ශ‍්‍රීලනිපය සමග දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ජවිපෙ තැත් කලේ ය.

මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය විප්ලවීය පරිශ‍්‍රමයක් ලෙස හුවා දක්වමින් පෙසප මෙසේ ලියා ඇත:

“දේශපාලන වසයෙන් ලඟ එන ඉන්දියානු ආක‍්‍රමනයකට ඒකාබද්ධ කල යුතු බලවේගයන් ඒකරාශී කිරීම සඳහා වූ වැඩපිලිවෙලකට මුල පුරන ලදි. 1986 ගොඩ නගන ලද මව්බිම සුරැකීමේ ව්‍යාපාරය මෙවැනි උත්සහායක් වූ අතර නිද්‍රාශීලිත්වයට හා අක‍්‍රීය කොට තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පැන නැගී ඇති තත්වයට එරෙහිව අවදි කිරීමේ උත්සහායක් ද ගන්නා ලදි.”

එල්ටීටීඊය නිරායුධ කරන ගමන් ම දෙමල ප‍්‍රභූවට සීමිත බලය බෙදීමක් යෝජනා කෙරුනු 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම දෙරටේ ආන්ඩු විසින් අත්සන් කෙරුනු විට ජවිපෙ ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනය සන්නියක් මට්ටමට ම නැග්ගේය. එය ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කලේ, ජයවර්ධන ආන්ඩුවත් ඉන්දියාවත් “මාතෘභූමිය” බෙදා උතුර හා දකුන බන්දේසියක තබා එල්ටීටීඊයට දීමට තැත් කරන බව යි.

සිය ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට විරුද්ධවූවන් මරා දැමීමට ජවිපෙ සන්නද්ධ ෆැසිස්ට්වාදී මිනීමරු ප‍්‍රහාර එල්ල කලේ ය. එහි මැරයන් 1988-90 වකවානුවේ එලෙස මරා දැමූ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් සිය ගනනකි. එහි ෆැසිස්ට්වාදී ප‍්‍රහාරවලට ද යූඇන්පී ආන්ඩුවේ භීෂනයට ද විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට අරගල කල නිසා ජවිපෙ මැරයෝ විකොස සාමාජිකයන් තිදෙනෙක් මරා දැමූහ.

ජවිපෙ මෙන් ම පෙසප ද මෙම මිනීමරු ප‍්‍රහාර මුලුමනින් ම යුක්තිසහගත කරයි. පක්ෂය තහනම් කර තිබූ නිසා එහි ”දේශපාලන කටයුතු නව අදියරක් දක්වා පියමං කල යුතු තත්වයක් උදාවී තිබුනි. දේශපේ‍්‍රමී සන්නද්ධ අරගලයට විවෘතව ම නායකත්වය දීම සඳහා [ජවිපෙ] යොමු වන්නේ මෙම නව තත්වය යටතේ ය” යි පෙසප කියා සිටී. පෙසප මූලික නායකයින් වන කුමාර් ගුනරත්නම් ද සේනාධීර ද මෙම මැරයන් සමග එකට වැඩ කල අය යි.

“දේශපේ‍්‍රමියෙකු” ලෙස ජවිපෙ විසින් ඔටුනු දැමූ හිටපු යූඇන්පී ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සමග විජේවීර රහසේ උපාමාරු දැමී ය. ජවිපෙ පේ‍්‍රමදාසට ඇදී යාමට එක් හේතුවක් වූයේ ඔහුගේ වර්ගවාදී ඉන්දියානු විරෝධය යි. කෙසේවුව ද මෙම උපාමාරු වැරැදී යාමෙන් පසු පේ‍්‍රමදාස ජවිපෙට විරුද්ධව හැරුනේ මිලිටරිය විසින් සංවිධානය කෙරුනු ඝාතක කල්ලි මුදාහැර විජේවීර ද ඇතුලු ජවිපෙ නායකයන් හා සාමාජිකයන් විනාශ කර දැමුවේ ය. මේ භීෂනය අවසන් කෙරුනේ තම දරිද්‍රතාව නිසා පෙරලිකාරී වී සිටි ගම්බද තරුනයන් 60,000ක් පමන මරා දමමිනි.

මෙම ෆැසිස්ට් ව්‍යාපාරය “සමාජවාදය සඳහා විරෝදාර අරගලයක්” ලෙස හුවා දක්වා අවුරුදු පතා අනුස්මරන රැස්වීම් පවත්වමින් එහි ගෞරවය තමන් වෙත ලබා ගැනීමට ජවිපෙ ද පෙසප ද පොරකති. මෙම නින්දිත කි‍්‍රයාවෙන් පෙන්නුම් කෙරෙන්නේ පෙසප ස්වයං විවේචනය අමු ප්‍රෝඩාවක් බවත් ජවිපෙ දේශපාලනය වෙස් ගන්වා ගෙන ඉදිරියට ගෙන යන බවත් ය. පාලක ප‍්‍රභූව හා එහි එජාප ආන්ඩුව මෙම ජනඝාතනයේ මූලික වගකීම දරන නමුත් පෙසප නායකයන් ඇතුලු ජවිපෙ ගම්බද තරුනයින් විනාශයට යැවීම ගැන දේශපාලනිකව වගකිව යුතු ය.

මෙම තීරනාත්මක දේශපාලන තත්වයේ දී ආන්ඩුවේ මර්දනයටත් ජවිපෙ ප‍්‍රහාරවලටත් විරුද්ධව කම්කරු පන්ති සංවිධානවල ඒකාබද්ධ ක‍්‍රියාවන් සංවිධානය කිරීමට එක්සත් පෙරමුනක් සඳහා මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේ විකොස පමනකි. විකොස සැබෑ ජාත්‍යන්තරවාදී ජවයකින් හජාජාක පක්ෂවල සහයෝගය ඇතිව ජාත්‍යන්තරව කම්කරු පන්තියේ සහයෝගය එම අරගලයට දිනා ගැනීමට සටන් කලේ ය. එහෙත් ලසසප, කොප හා නසසප ද ඇතුලු පක්ෂ යූඇන්පීයේ මර්දනය සමග පෙල ගැසුනි. ගම්බද තරුනයින් ඝාතනයට ද ජවිපෙ මර්දනයට ද එරෙහි වෙමින් කම්කරු පන්තිය ඉදිරියේ මතු වන අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවූයේ විකොස යි.

 

 http://www.wsws.org/sinhala/2013/2013dec/fsp2-21d.html
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: