සුනිල් මාධව ගැන ජයලාල් රෝහණ කියූ කතාව

14 Nov

Jayalal Rohana | ජයලාල් රෝහණ
1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. “ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා” බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-

-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් “මල්ලි මට පුංචි උදව්වක් කරනවද?” යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.

එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.

“කවුද මල්ලි සොයන්නේ?” ඒ ඔහුය.

මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.

“මම හොයන්නේ … අහවලා…” කියමින් ඉදිරියට ඇදුනෙමි.

“උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා.”

“ඇත්තමයි මල්ලි මං බැලුවා… ” ඔහු දිගටම පවසයි.

“මං චූටි එකක් අරගෙනයි උන්නේ…” … මම කල්පනා කළෙමි‍.

මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම … ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.

“මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?”

“ඔව් මල්ලි”

“ඔයා …. සුනිල් මාධව ද?”

“ඔව් බං … ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?”

සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.

“මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?”

“හ්ම්හ්… උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!”

“ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්.”

රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්

“හරි‍ නේද?” ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.

“තාම මතකයි නේද?…” ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.

“අපි බොමු මල්ලි ප්ලේන්ටියක්.” කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.

“මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?”

එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?

* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ “රාවය” සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ “යුක්තිය” පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්

මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?

ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?

ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ ‘දෙසතිය’ සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. “සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා.”

මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.

විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]

කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.

ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.

වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.

ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් ‘පත්තර’ ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.

2001 මැතිවරණයේදී මට නැවතත් ‘සුනිල් අයියා’ මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.

වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.

නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා ‘ජනතා කලාකරුවෝ’ නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට ‘සුනිල් අයියා’ ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. “මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන” හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. ‘අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ’ කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. ‘සුනිල් අයියා’ ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍

ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.

“ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?” ‍උත්තරය…

“මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?”

“එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?”

“මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා.”

‘සුනිල් අයියාට’ අත් වූ ඉරණම ඒකයි.

දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් ‘සුනිල් අයියා’ සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.

“පව්… මල්ලී … මචං උන්‍ දුකේ ඉන්නේ…” [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] “මට කතා කළා … ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු.”

අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.

‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.
උපුටනය- “සුනිල් මාධව- පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත” 

‘පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත’ සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල නිමිති කොට ගෙන ‘අටවෙනි පිටුවෙන් ඔබ්බට සහෘද සංසදය’ විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයකි. 2005 සැප්තැම්බරයේ මෙම උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ එලිමහන් ‍පීඨිකාවක පැවැත් වුණි. මෙහි උපුටා පළ කෙරෙන ලියවිල්ල එකී ග්‍රන්ථයට ජයලාල් රෝහණ විසින් ලියන ලද්දකි.

මතක්කර දීම boondi –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: