දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (7 කොටස)

4 Nov

 

 

 

දෙමළාගේ ප‍්‍රශ්නයට නලින් ද සිල්වාගේ “Let them eat pollution” විසඳුම

Bracha Ettinger, Eurydice Series, n.37, 2001මෙම ලිපි පෙළ සම්බන්ධව ජාතික චින්තන ෆේස්බුක් කණ්ඩායම තුළ කෙරෙන සංවාදය දෙස බැලූ විට එය කිසියම් තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව පෙනේ වෙනත් ආකාරයකින් කියනවානම් මගේ කරුණු දැක්වීම මේ ආකාරයෙන්ම කරගෙන යාම ප‍්‍රයෝජනයක් නැති බව පෙනේ. මගේ සම්භාෂකයින් නගන මූලික තර්කයක් වන්නේ මා මූලික ප‍්‍රශ්නයට පිළිතුරු දීමෙන් ඉතා සූක්ෂම ලෙස මගහැර යන බවයි. ඒ වෙනුවට මා කරන්නේ අදාළ නැති වැල්වටාරම් පුන පුනා ප‍්‍රකාශකිරීමේ නිරත වන බව ඔවුන් පවසයි. මේ නිසා මා ඉදිරිපත් කළ මූලික තර්ක සහ ඊට එරෙහිව ඉදිරිපත්වූ ප‍්‍රතිතර්ක සැකෙවින් නැවත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 මුලින්ම අපි බෙහෙවින් සාකච්ඡාවට ලක්වන ‘‘අසාධාරණකම්’’ පිළිබඳ කතිකාව විමසා බලමු. ඒ පිළිබඳ මා තරමක් දුරට මෙම ලිපි පෙළේ පළමු කොටසින් ද සලකා බලා ඇති නමුත් මගේ ප‍්‍රතිචාරකයින් පවසන්නේ එය පිළිතුරක් නොවන බවයි. මගේ අදහස වන්නේ ‘‘දෙමළ ජනයාට දෙමළ වීම නිසා අසාධාරණකම් වී ඇති බව’’ ඔප්පුකළ නොහැකි බවයි. මේ ප‍්‍රකාශයෙන් මගේ සම්භාෂකයින් බෙහෙවින් උද්දාමයට පත්වනු ඇත. කලබල විය යුතු නැත මා එසේ කියන්නේ මේ ප‍්‍රශ්නය මතු කරනු ලැබ ඇත්තේ පිළිතුරු දිය නොහැකි ආකාරයට බවයි. මේ සාකච්ඡාවට ප‍්‍රවේශයක් ලෙස භාවිත කළ හැකි අදහසක් මට නලින් ද සිල්වා ගේ ‘ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා’ කෘතියෙන් හමුවිය.

කතෝලිකයින් ගැන සාධනීය ආකල්පයකින් කතා කරමින් ඔහු මෙසේ කියයි:

 ‘‘රැකියාවලට වෘත්තීන්ට පත්වීමේ දී බෞද්ධයන් තම අනුපාතයට සරිලන අයුරින් ඒවාට පත්වීම අද කිතුණුවන්ගෙන් හා කතෝලිකයන්ගෙන් බහුතරයකට ප‍්‍රශ්නයක් නොවෙයි.

 අදෘෂ්‍යමාන ප‍්‍රශ්න විචාරක: එය බෞද්ධ බහුතරයේ ආධිපත්‍යය පිළිගැනීමක් ද?

 නැහැ. එය බහුතරයේ ආධිපත්‍යය පිළිගැනීමක් නොවෙයි. එය ඉතිහාසය හා වර්තමානය තේරුම් ගෙන එය පිළිගැනීමයි. සිංහල සංස්කෘතිය තුළ ම පැහැදිළි අනන්‍යතාවයක් ඇතිව කිතුනුවන් හා කතෝලිකයන් ලෙස ජීවත්වීමටත්, තම ජනගහන අනුපාතයට නොසරිලන ලෙස රැකියා ආදිය බලාපොරොත්තු නොවීමටත් ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. එය පසුගිය වසර පණහක පමණ කාලය තුල මෙරට දකින්නට ලැබුණු අගනාම සමාජයීය ඵලයන්ගෙන් එකක්. බලවත් පිරිසකගේ අකුල් හෙලීම් මැද අවුරුදු පණහක් පමණ කෙටි කාලයකින් මෙපමණ දුරක් ඒමට හැකිවීම සියලු සිංහලයන් ගේම ජයග‍්‍රහණයක්.

 අදෘෂ්‍යමාන ප‍්‍රශ්න විචාරක: ඔබ කියන්නේ දෙමළ ජනයා සම්බන්ධයෙන් එය එසේ සිදු නොවූ බව ද? එයට හේතුව කුමක් ද?

 ඔව්. අවාසනාවකට දෙමළ ජනයාට එය කරගැනීමට නොහැකි වුනා. අපේ රටේ තිබෙන ලොකුම ප‍්‍රශ්නයත් එයයි. අද අප කතා කරන්නේත් යුද්ධ කරන්නේත් දෙමළ ජනයා එය නොකළ හා නො කරන බැවින්. එයට ප‍්‍රධාන වරදකරු වන්නේ උගත් දෙමළ ජනතාවයි. එහි ආරම්භයේ ම පොන්නම්බලම් සහෝදරයන් සිටිනවා.’’ (පිටුව 16)

 ඇත්ත වශයෙන්ම මෙම ප‍්‍රකාශය මගේ විශේෂ අවධානයට යොමු වූයේ මීට දින කීපයකට ඉහතදී පමණි. ලංකාවේ දෙමළ ජනයාට ජනවාර්ගිකත්වය මුල්කරගත් වෙනස්කම් කිරීමක් සිදුවන බව ලෝකයට කීමට මීට වඩා ප‍්‍රබල සාක්ෂියක් තවත් අවශ්‍ය ද? මගේ අදහස නම් මේ ප‍්‍රකාශයේ ඉංග‍්‍රීසි පරිවර්තනය නවනීදන් පිල්ලේටත්, ජිනීවා මානව හිමිකම් කොමිසමටත්, දෙමළ ජාතික සංධානයටත්, දෙමළ ඩයස්පෝරාවටත් යැවිය යුතු බවයි.

නලින් ද සිල්වා ගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිළි වන්නේ දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් ලෙස දෙමළ ජාතිකවාදය මගින් මෙන්ම, මා මේ ලිපි මාලාවේ මුල දී සඳහන් කළ ‘සිංහල ජාතික සමගි කතිකාව’ මගින් ද ඉස්මතු කරන ලද භාෂාව, වියලි කලාපයේ නව ජනපද ඇතිකිරීම, විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ප‍්‍රමිතිකරණය කිරීම සහ රජයේ රැකියා සැපයීම වැනි දේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම කෙරුණු අසාධාරණකම් ලෙස දැක්විය නොහැකිය යන නලින් ද සිල්වා ගේ තර්කයේ පදනමයි.

 මේ ප‍්‍රකාශය පිළිබඳ කල්පනා කළ විට මට මතක් වූයේ, එ වකට ලෝක බැංකුවේ ප‍්‍රධාන ආර්ථික විශේෂඥයා වූ ලෝරන්ස් සමර්ස් 1991 දී සිය තවත් ලෝක බැංකු සගයෙකුට ‘වැඩිපුර පරිසර දූෂණය ඇතිකරන කර්මාන්ත තුන්වන ලෝකයේ රටවල ඇතිකිරීම ලෝක බැංකුව විසින් ධෛර්යමත් කළ යුතු’ යැයි කියමින් ලියූ සටහනක් The Economist සඟරාව විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබිම නිසා ඇති වූ විශාල ආන්දෝලනයයි. The Econoist සඟරාව මෙම සටහන ප‍්‍රසිද්ධ කළේ “Let them eat pollution” (ඔවුන්ට දූෂණය අනුභව කිරීමට දෙමු!) යන මාතෘකාව යටතේය. කිසිඳු සැකයක් නොමැතිව සමර්ස් ගේ මෙම අදහස පසුපස ඇති තර්කයට නලින් ද සිල්වා විරුද්ධ වෙනු ඇතැයි අපට උපකල්පනය කිරීම අපහසු නොවේ. නමුත් එවැනිම තර්ක ක‍්‍රමයක් උපයෝගී කරගෙන දෙමළ ජනයා මුහුණ දෙන වාර්ගිකත්වය මුල්කරගත් ගැටලූවල වැදගත්කම හෑල්ලූවට ලක් කිරීම කොයිතරම් උත්ප‍්‍රාසජනක ද?

 මෙහිදී නලින් ද සිල්වා ට අනුව රාජ්‍යය හරහා සිදුවන පොදුජන අවශ්‍යතා බෙදාහැරීමේ (distribution of public needs through the state) මූලධර්මය විය යුත්තේ වාර්ගික – ආගමික සංයුතියයි. එනම් දෙමළ හා / හෝ වෙනත් ඊනියා සුළු ජනවර්ගයකට අයත් පුද්ගලයෙක් හෝ සමූහයක් රාජ්‍ය හරහා කිසියම් අවශ්‍යතාවයක් ඉෂ්ට කරගැනීමට අපේක්ෂාකරන්නේ නම් ඒ අය සමූහයක් ලෙස ගත්කල තම වාර්ගික අනුපාතය මගින් නීර්ණය කරණ ප‍්‍රමාණයට වඩා වැඩි යමක් අපේක්ෂා නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම නලින් ද සිල්වා ගේ මෙම හරයාත්මක වශයෙන් නාසිවාදී (නාසිවාදය බටහිර සංකල්පයක් නිසා එය භාවිතය නතර කරමුද?) මෙම ප‍්‍රකාශය මීට පෙර මගේ අවධානයට යොමු නොවීම ගැන කණගාටුවෙමි. මෙය නාසිවාද’ යැයි මා කියන්නේ ඇයි? හිට්ලර් ජර්මනියට යෝජනාකළ කුප‍්‍රකට ව්‍යාපෘතියේ පදනම වුයේ ද පුරවැසිභාවය නොව වාර්ගික අනන්‍යතාවයයි.

 මෙම ප‍්‍රකාශය ගැටලූසහගත වන්නේ කෙසේදැයි සලකා බලමු.

 අසාධාරණකම් කතිකාවම උදාහරණ ඇසුරෙන් මෙය වැඩි දුරට සලකා බලමු. විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවස්ථා, රජයේ රැකියා සහ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව ලංකාවේ පශ්චාත් යටත් විජිත ආණ්ඩු මෙන්ම යටත් විජිත ආණ්ඩුව විසින් ද එහි සිංහල බෞද්ධ සහායකයින්ගේ මුලපිරීම් යටතේ දියත් කරන ලද ඇතැම් ක‍්‍රියාමාර්ග දෙමළ ජනයා තමන් අසාධාරණයකට ලක්වන දේ ලෙස භාරගත්තේ ඇයි? නලින් ද සිල්වා කියන ලෙසම මෙම ක‍්‍රියාමාර්ග හිතාමතාම දෙමළ ජනයාට අසාධාරණයක් සිදුකිරීම සඳහා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ලෙස සැලකීමට අවශ්‍යතාවයක් නැත. නමුත් ඒවා මගින් දෙමළ ජනයාට අසාධාරණයක් වීමට ඒවා චේතනාන්විතවම එසේ කිරීම අවශ්‍ය නොවේ. ගැටුම්කාරී අභිලාෂ කිසියම් සමාජයක ව්‍යුහාත්මක තලයේ ක‍්‍රියාත්මක වන කල්හී තනි තනි ක‍්‍රියා එම ව්‍යුහාත්මක සාධක මගින් යලි නිර්වචනය වීම සිදුවේ. ඒ අනුව දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදුවන අසාධාරණයකම් පවතින්නේ එම අදාල ක්‍රියාමාර්ග පසුපස ඇති ප‍්‍රකාශිත හෝ අප‍්‍රකාශිත චේතනා තුළ නොව ලංකාවේ ප‍්‍රතිවිරුද්ධ වාර්ගික අභිලාෂ ව්‍යුහගත වී තිබෙන ආකාරය තුළයි.

 සාපේක්ෂ වශයෙන් ගත්කළ උසස් අධ්‍යාපනය සහ රජයේ රැකියා සිංහල හා මුස්ලිම් ජනවර්ගවලට සාපේක්ෂව දෙමළ ජනවර්ගයට තීරණාත්මක වැදගත්කමකින් යුක්ත විය. 1950 ගණන් වනවිටත් සිංහල ජනයාගෙන් බහුතරය අතර තවමත් තීරණාත්මක ආර්ථික කටයුත්ත වූයේ ගැමි කෘෂිකර්මයයි. සිංහල ජනයාට සාපේක්ෂව කෘෂිකර්මයේ නියැලීම සඳහා වූ කොන්දේසි දෙමළ ජනයා සම්බන්ධයෙන් ගත්කල දුෂ්කර ඒවා විය. යටත් විජිත යුගයේ දී උතුරේ ව්‍යාප්ත වන අධ්‍යාපනය හා එම අධ්‍යාපනය හරහා රාජ්‍යයේ හා වෘත්තීය අංශවල රැකියා ලබාගැනීමට ලැබෙන හැකියාව දෙමළ ජන ජීවිතයේ තීරණාත්මක සාධකයක් වන්නේ මේ නිසාය.

 කුමන චේතනාවක් මත සිදුකලත් රජයේ රැකියා හා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිකෙරෙන ඇතැම් පශ්චාත් යටත් විජිත ප‍්‍රතිසංස්කරණ වලින් සිදුවන එක් දෙයක් වන්නේ මෙම අවකාශ සීමා වීමයි.

 මෙහිදී ගැටලූව වන්නේ මනුෂ්‍යයින් තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ විනිශ්චයන් ඇතිකරගන්නේ ඉහත නලින් ද සිල්වා යෝජනා කරන ආකාරයට නොවීමයි. ක‍්‍රිස්තියානීන් හා කතෝලිකයින් සම්බන්ධයෙන් නලින් ද සිල්වා ඉදිරිපත් කරන විනිශ්චය බෙහෙවින් ගැටලූ සහගත එකකි. මෙවැනි ප‍්‍රකාශයක් මා විසින් සිදු කරනු ලැබුවා නම් මට ඒ සඳහා ඇති සාධක මොනවාදැයි මගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින් මගෙන් විමසීමට ඉඩ තිබුණි. මිනිසුන් තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ විනිශ්චයන් ඇතිකර ගන්නේ කිසියම් කි‍්‍රයාවක් තමන්ට ආසන්න වශයෙන් සිදුකරන බලපෑම අනුවයි. මේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් අපට මේ දිනවල සාකච්ඡාවට භාජනය වන වැලිවේරිය රතුපස්වල සිද්ධිය මගින් සපයයි. ඒ ප‍්‍රදේශයේ ජනයා තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි සිතන්නේ දෙමළ ජනයා තමාට සිදුවී ඇතැයි සිතන අසාධාරණකම් සම්බන්ධයෙන්, ඒ පිළිබඳව නලින් ද සිල්වා සිදුකරණ ආකාරයේ ‘සමස්ත චිත‍්‍රය’ පිළිබඳ විමසා බැලීමක් කිරීමෙන් නොවේ. තමන් පරිහරණය කරන ජලය භාවිතයට ගැනීමට නොහැකි තත්වයක තිබෙන්නේය යන අනුභූතික’සත්‍යය’ සැලකිල්ලට ගැනීමෙනි.

 දෙමළ ජනයා ඉහත කී ආකාරයේ අනුභූතික සත්‍යයකට ඇත්ත වශයෙන්ම මුහුණ පෑ ආකාරය කෙනෙකුට දැන ගැනීමට අවශ්‍ය නම් 1984 දී සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප‍්‍රකාශිත ‘ලංකාවේ ජාතිකත්ව ගැටලූව හා සමාජ විපර්යාස’ කෘතිය කියවීමෙන් ඒ පිළිබඳ තොරතුරු දැනගත හැක.

 මෙවැනි අවස්ථා වලදී රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස්විය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවබෝධයක් 1990 ගණන් වල මුලදී ඉන්දියාවේ බෙහෙවින් මතභේදාත්මක වූ මන්දාල් කොමිසමේ නිර්දේශ මගින් අපිට ලබාගත හැක. එහි දී සිද්ධ වූයේ පහත් කුලවල ජනයාට රජයේ රැකියාවල කොටාවක් ලබා දීමට නිර්දේශ කිරීමයි. ඉන්දියාවේ ඉහළ කුලවල ජනයා මේ ක‍්‍රියාමාර්ගයට මාරාන්තික ලෙස විරුද්ධවිය.

නිර්මාල් රංජිත් දේවසිරි

http://demalageprashnaya.wordpress.com/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: