දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (6 කොටස)

4 Nov

 

දෙමළාගේ රාජ්‍ය විඥානය හා‘කටුවාවල’ රාජ්‍ය විඥානය

bracha6පසුගිය කොටසින් පොරොන්දු වූ පරිදි මෙම කොටස මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම ලංකාවේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා තුළ තමන් ජීවත්වන ප‍්‍රදේශවල රාජ්‍යයක් ඇතිකරගැනීම සඳහා ගොඩනැගී තිබෙන විඥානය පිළිබඳවයි.

මෙහි දී මගේ ප‍්‍රධාන සම්භාෂකයින් වන ජාතික චින්තන ව්‍යාපාරයට සහයෝගය දක්වන ෆේස්බුක් ක‍්‍රියාකාරීන් සමග සම්භාෂණයේ යෙදීමේදී මතුවන විශේෂ ගැටලූවක් ගැන ද සඳහන් කිරීම වැදගත්ය. පෙනෙන විදිහට මෙම සම්භාෂකයින් අඩුම තරමින් වැඩි පිරිසක් ස්වාභාවික විද්‍යා හා තාක්ෂණ අංශවල බුද්ධිමය පුහුණුවක් සහිත අය වෙති. අපගේ සාකච්ඡාවට අදාල මාතෘකා සම්බන්ධව සිය සංකල්පීය දැනුමේ ප‍්‍රධාන මුලාශ‍්‍රය එසේත් නැතිනම් ඒ පිළිබඳ දැනුමේ ක්ෂිතිජය නලින් ද සිල්වාගේ බෙහෙවින් ගැටලූ සහගත බුද්ධිමය මැදිහත්වීම්ය. නමුත් මගේ මැදිහත්වීම් බුද්ධිමය වශයෙන් ප‍්‍රතික්ෂේප කිරීම සඳහා එම දැනුම ප‍්‍රමාණවත් බව ඔවුහු දැඩිව විශ්වාස කරති. මේ නිසා මගේ සම්භාෂකයින්ට ඇතැම් කරුණක් පැහැදිළි කිරීම සඳහා ම පවා (ඒත්තු ගැන්වීමට නොව) අමතර පරිශ‍්‍රමයක් දැරීමට සිදුවේ. උදාහරණයක් විදිහට ‘දෙමළාගේ ප‍්‍රශ්නය ගැන මගේ ප‍්‍රස්තුතගත කිරීම ආචාරධාර්මික ස්ථාවරයක්’ බව ප‍්‍රකාශකළ විට එක් ප‍්‍රතිචාරකයෙක් අසන්නේ එය subjective නේද කියාය. ආචාරධාර්මික ස්ථාවරයක් ප‍්‍රශ්න කළ යුත්තේ එය subjective ද objective ද යන්න මත නොවන බව ප‍්‍රකාශ කොට තිබියදීත් ඔහු ඒ ප‍්‍රශ්නය අසයි. ආචාරධාර්මික ස්ථාවරයක් ප‍්‍රශ්න කළ යුත්තේ එහි ආචාරධාර්මික වලංගුතාවය අනුවයි.

කෙසේ වෙතත් සමාජයීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සංවාදය විශේෂඥ දැනුම ඇති පිරිස්වල ඒකාධිකාරයක් නොවිය යුතු බැවින් දුෂ්කරතා මධ්‍යයේ වුවද මේ කතිකාව පවත්වාගෙන යාම වැදගත් වේ.

මගේ මෙම සාකච්ඡාව සඳහා පසුගිය කොටසේ පොරොන්දු වූ පරිදි ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය, ඊශ‍්‍රායල-පලස්තීන ප‍්‍රශ්නය වගේම, ෆේස්බුක් ප‍්‍රතිචාරක ශිරන්ත චාමර මතුකල ‘‘කටුවාවල ප‍්‍රශ්නය’’ ද යොදාගැනීමට මම අදහස් කරමි. කටුවාවල ප‍්‍රශ්නය යනු දෙමළාගේ රාජ්‍ය අභිලාෂය පිළිබඳ මගේ ප‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කිරීම සඳහා චාමර විසින් ‘කටුවාවල ‘ජනයාටත් රාජ්‍යයක් අවශ්‍ය බව ඔවුන් ප‍්‍රකාශ කළහොත් ඇතිවන තත්වය කුමක් ද යනුවෙන් නගනු ලැබූ ප‍්‍රශ්නයයි.

මගේ මතය රාජ්‍යය පිළිබඳ නූතන දෘෂ්ටිවාදයේ පදනම වන්නේ ‘රාජ්‍යය යනු ඒ මගින් පරිහරණය කරනු ලබන ස්වෛරී බලය (sovereign power) ක‍්‍රියාත්මක භූමි ප‍්‍රදේශය තුළ වසන ස්ථිර පදිංචි කරුවන්ගේ සාමූහික දේශපාලන විඥානයේ අවසාන ප‍්‍රකාශනය’ බවයි. ජනතා පරමාධිපත්‍යය යන සංකල්පයේ ප‍්‍රතිමානක පදනම (normative base) වන්නේ ද මෙයයි. මෙම ප‍්‍රවේශය අභියෝගයට ලක්කරනු ලබන හෝ ප‍්‍රතික්ෂේප කරනු ලබන ‘ප‍්‍රවාදයක්’ නලින් ද සිල්වා අතින් නිර්මාණය වී තිබෙනු මා දැක නැත. කෙසේ වෙතත් මෙහි දී මතක තබාගැනීම වැදගත් වන්නේ අප දැනට දන්නා ඕනෑම පූර්ව නූතන රාජ්‍ය ආකෘතියක් මීට පරස්පර වන බවයි. එනම් ඒවා මගින් රාජ්‍යයේ ස්වෛරී බලය භුක්තිවිඳින්නන්ට ඊට අදාල භූමිය තුළ වාසය කරන ජනයා මත එම ජනයාගේ කැමැත්ත අකමැත්ත නොතකා ක‍්‍රියාත්මක වීම සඳහා ප‍්‍රතිමානක අවසරයක් තිබේ. මීට වෙනස් තත්වයක්, ජාතික චින්තන ව්‍යාපාරය විසින් සිංහල-බෞද්ධ චින්තනය සාක්ෂාත් වී තිබූ උච්චතම තත්වයක් ලෙස සලකනවා යැයි පෙනෙන, රජරට ශිෂ්ටාචාරය තුළ හෝ පැවැති බවට සාධක නොමැත.

මෙම තත්වය තුළ ‘රාජ්‍යයේ පැවැත්මේ පදනම වන්නේ ජනයාගේ සාමූහික දේශපාලන අභිලාෂය යි’ යන්න ගැන ගැටලූවක් තිබිය යුතු නැත. ගැටලූව පැනනගින්නේ මෙම රාජ්‍ය අභිලාෂය කිසියම් ප‍්‍රජාවක් විසින් කියාත්මක කිරීමට යාම තුළ උද්ගත වන යම් යම් තත්වයන් නිසාය. මෙම තත්වයන් වර්ග දෙකකට බෙදා දැක්වීමට පුළුවන. එකක් නම් අදාළ සාමූහික රාජ්‍ය අභිලාෂය ප‍්‍රකාශයට පත්කරන ප‍්‍රජාව නීර්ණය වන්නේ කෙසේ ද යන ගැටලූවයි. දෙවැන්න එලෙස රාජ්‍ය අභිලාෂයක් ඇතිකරගනු ලබන ප‍්‍රජාවක් සිය රාජ්‍ය අභිලාෂය සාක්ෂාත් කරගනු ලබන්නේ කිනම් භූමි ඒකකයක ද යන්නයි. තවත් ආකාරයකට කියනවා නම් කිසියම් රාජ්‍ය විඥානයක් සහිත ප‍්‍රජාවක් තම රාජ්‍යය පිහිටුවා ගැනීමට උත්සාහකරන භූමිය සඳහා හිමිකම් කියන්නේ කිනම් පදනමක් මත ද යන ගැටලූවයි. මේ ගැටලූ වර්ග දෙක වෙන වෙනම සලකා බලමු.

දහනව වන ශතවර්ශයේ යුරෝපයේ ඇතිවූ අදහසක් වූයේ රාජ්‍යයේ පදනම ජාතිය විය යුතු බවයි. එය සිදුවූයේ 1648 දී යුරෝපයේ තිස් අවුරුදු යුද්ධය නිම කරමින් ඇතිවූ වෙස්ට්ෆේලියා ගිවිසුම මගින් ඇති කරනු ලැබූ එකිනෙකාගේ දේශසීමා වලට ගරුකිරීමට එකිනෙකා අතර ඇතිවූ එකඟතාවය පදනම් කරගත් රාජ්‍ය ක‍්‍රමය, ප‍්‍රංශ විප්ලවය සමඟ ගොඩනැංවුණු ජාතිය නමින් හඳුන්වනු ලැබූ දේශපාලන අනන්‍යතාවය සමග සම්බන්ධ වීමත් සමග යි. මෙම පසුව කී තත්වය යුරෝපයේ රාජාණ්ඩු ක‍්‍රමය මත පදනම් වූ හෙජමොනිය (hegemony) දුර්වල වීම සහ එම හෙජමොනිය තුළ සිටි පොදුජනයා අතර දේශපාලන ක‍්‍රියාකාරකම් වර්ධනය වීම නිසා ඇති වූවකි.

ජාතීන් යනු මෙකී දේශපාලන නවීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවූ සංසිද්ධියක් ද එසේත් නැතහොත් පෞරාණික සංසිද්ධියක්ද (modern vs primordial) යන විවාදය ජාතිය පිළිබඳ චින්තකයින් අතර තියුණු ලෙස සාකච්ඡාවට ලක්වන වාද විෂයකි. ලංකාව තුළ ද සිංහල ජාතිය අරභයා ලෙස්ලි ගුණවර්ධන හා කේ.එන්. ඕ. ධර්මදාස අතර ඇතිවූ ශාස්ත‍්‍රීය අදහස් හුවමාරුවක් හරහා මෙම සංවාදය පැණනැගිණි. මේ සංවාදය පිළිබඳ විස්තර වලට නොයා අපගේ සාකච්ඡාවට අදාළ කරුණු කීපයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

සාමූහික අනන්‍යතා පිළිබඳ දෘෂ්ටිවාද කිසිසේත්ම නූතන යුගයට ආවේණික ඒවා ලෙස සැලකීමේ පදනමක් නැත. එසේවුව ද වර්තමාන සාමූහික දේශපාලන අනන්‍යතා සහ පූර්ව නූතන සාමූහික අනන්‍යතා අතර මූලික ගුණාත්මක වෙනස්කමක් ඇත. එනම් නූතනත්වයට පෙර වාර්ගික ස්වරූපයක් ගත් පූර්ව නූතන සාමූහික අනන්‍යතා දේශපාලන සැකැස්මේ ධූරාවලිගත සැකැස්මට අභියෝග කිරීමට සමත් වූයේ නැත. වෙනත් වචන වලින් කියනවානම් පූර්ව නූතන වාර්ගික සාමූහික අනන්‍යතා වර්තමාන අරුතින් දේශපාලන අනන්‍යතා නොවීය. අප දන්නා ඕනෑම පූර්ව නූතන සැකැස්මක සමාජ ධූරාවලිය (hierarchy) බල සැකැස්මේ තීරක සංඝඨකය වීය. එහෙත් රාජ්‍යය පිළිබඳ නූතන අදහස සමාජ ධූරාවලියට ප‍්‍රතිමානක අවසරයක් නොදෙයි.

පූර්ව නූතන තත්වය තුළ ස්වෛරී බලය හොබවනු ලැබූ පාලක ප‍්‍රභූ කණ්ඩායමේ බලයට අභියෝග කිරීමට තිබූනේ ක‍්‍රම දෙකකි. එනම් කුමණ්ත‍්‍රණ කිරීම හා කැරළි ගැසීමයි. ඒ ක‍්‍රම දෙකටම ප‍්‍රතිමානක අවසරයක් නොතිබූ බව නොකිව මනාය. යුධ බලයෙන් පාලකයෙක් පලවා හැරීමේ ප‍්‍රතිමානක අවසරය තිබුනත් එසේ තිබුනේ ඒ තැන ගැනීමට අවශ්‍ය වත්පිළිවෙත්මය සුදුසුකම් සපුරා තිබූ කෙනෙකුට පමණි.

මෙහිදී මගේ මූලික තර්කය වන්නේ නවීන දේශපාලන ලෝක දැක්ම තුළ (සමාවෙන්න මෙය යුදෙව් ක‍්‍රිස්තියානි ලෝක දැක්මක් නම්, ඊට වෙනස් එකක් මා මෙතෙක් නලින් ද සිල්වා විසින් ‘ප‍්‍රවාදගත’ කරනු ලැබී ඇති බවක් දැක නැත.) රාජ්‍යයක් පිහිටුවාගැනීම උදෙසා වූ ජනයාගේ දේශපාලන විඥානය සාමූහික වශයෙන් ප‍්‍රකාශයට පත්වන්නා වූ අනන්‍යතා ආකෘතිය වන්නේ ‘ජාතිය’ බවයි. (නලින් ද සිල්වා කෙතරම් පරසක්වල ගැසුව ද මේ අර්ථයෙන් සිංහල ජාතිය දේශපාලන අනන්‍යතා සමූහයක් බවට පත්වූයේ බටහිර නවීන දේශපාලන චින්තනයේ බලපෑම නිසාය.)

ඉහත සඳහන් කර ඇති ‘කටුවාවල රාජ්‍ය විඥානය’ පිළිබඳ ගැටලූව තුළ දැකිය හැකි විශේෂත්වය වන්නේ එය ජාතිය වෙනුවට කිසියම් ප‍්‍රාදේශීය අනන්‍යතාවයක් පදනම් කරගත් එකක් වීමයි. මෙම උපකල්පනය ඉදිරිපත්කරන ශිරන්ත චාමරට කිව යුත්තේ මෙය ප‍්‍රතිමානක වශයෙන් අවසරයක් ඇති දෙයක් බවයි. සෑම පුද්ගලයෙකුටම රාජ්‍ය විඥානයක් ඇති බව මෙහිදී කිව යුතුය.

දැන් ප‍්‍රශ්නය වන්නේ ජාතීන් නීර්ණය කරන්නේ කෙසේ ද යන්නයි. එනම් ජාතිය නමැති පොදු ප‍්‍රවර්ගය නීර්ණය කරන්නේ කෙසේ ද යන්න නොව, තනි තනි ජාතිය නීර්ණය කරන්නේ කෙසේ ද යන්නයි. දැනට ඒ සම්බන්ධව වාස්තවික නිර්වචනයක් ඇත්තේ නැත. එවැන්නක් ජෝසෆ් ස්ටාලින් විසින් ඉදිරිපත් කරනු ලැබූවද එය දැන්නම් එතරම් බැරෑරුම් ලෙස භාරගන්නේ නැත. ඒ නිසා පවතින්නේ ස්ව-කේන්ද්‍රීය (subjective) නිර්ණායකයන්ය. එනම් කිසියම් ප‍්‍රජා කණ්ඩායමක් තමන්වම ජාතියක් ලෙස නිර්වචනය කරගනී.

කෙසේවෙතත් මෙම ස්ව-කේන්ද්‍රීය නිර්වචන වල සීමාව වන්නේ එම ස්ව්‍යං ප‍්‍රකාශිත ‘ජාතීන්’ තම රාජ්‍යය පිහිටුවාගැනීම සඳහා වූ භූමිය නීර්ණය කිරීමේදීය, විශේෂයෙන්ම එම භූමිය දැනටමත් ස්ථාපිත රාජ්‍යයක කොටසක් බවට පත්වී තිබෙන කල්හීය. මෙහිදී ඊශ‍්‍රායල් ප‍්‍රශ්නය සහ ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය සංසන්දනය කිරීමට පුළුවන. ඊශ‍්‍රායල් ප‍්‍රශ්නයේදී යුදෙව් ජනයා සිය රාජ්‍ය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා තෝරාගත් භූමිය වූයේ ඒ වනවිටත් යුදෙව් නොවන අරාබි ජනයා පදිංචිව සිටි භූමි කොටසකි. ලංකාවේ උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයා පිළිබඳ තත්වයට වෙනස්ව පළමුවන ලෝක යුද්ධයෙන් පසු එම රාජ්‍ය අභිලාෂය ප‍්‍රකාශයට පත්වන අවස්ථාව වන විට අදාළ භූමි කොටස තුළ වාසය කලේ යුදෙව්වන් ඉතා සුළු පිරිසකි. යුදෙව්වන්ට එම භූමිය සඳහා පැවැති අයිතිවාසිකම් කියා පෑම පදනම් වී තිබුනේ දිව්‍යමය ආරම්භයක් සහිත නොපැහැදිළි අතීතයක් මතය. එම කියාපෑම තරමක් දුරට වර්තමාන සිංහල-බෞද්ධයාට ‘දෙමළ නිජභූමිය’ ලෙස දෙමළ ජාතිකවාදය විසින් සලකනු ලබන භූමිය සම්බන්ධව ඇති අයිතිවාසිකම් කියාපෑම මෙනි. සිංහල බෞද්ධයාට රාජ්‍ය බලය ඇති නිසා දෙමළා මත භූමිය පිළිබඳ සිය ආධිපත්‍යය පැතිරවීමට හැකියාව ඇති පරිදිම, පළමුවන ලෝක යුද්ධයෙන් පසුව විසුරුවා හරින ලද ඔටෝමන් අධිරාජ්‍යයට අයත්ව පැවැති ප‍්‍රදේශ මත තමන්ට ලැබුණු ආධිපත්‍යය උපයෝගී කරගෙන මේ ප‍්‍රදේශය 1947 දී පිහිටවූ ඊශ‍්‍රායල් රාජ්‍යයේ භූමිය බවට පත්කිරීමට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට හැකිවිය.

උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා සිය රාජ්‍යය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා තෝරාගනු ලබන භූමිය වන්නේ තමන් පාරම්පරිකව ජීවත් වන ප‍්‍රදේශයයි. නලින් ද සිල්වාගේ අදහස් අනුමත කරන්නන් මගේ මේ අදහස එකහෙළාම ප‍්‍රතික්ෂේප කිරීමට නියමිත බැවින් මේ පිළිබඳව වැඩිදුර යමක් කිව යුතුය. මෙහිදී මගේ තර්කය වන්නේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ සඳහා වු තම පාරම්පරික උරුමය පිළිබඳ දෙමළ ජනයාගේ දේශපාලන විඥානය ගොඩනැගෙන්නේ මූලික සංඝඨක දෙකක් එකතුවීමෙන් බවයි. එකක් නම් ‘අනාදිමත් කාලයක් තිස්සේ තම දෙමාපිය මුතුන් මිත්තන් ජීවත් වූ සහ ජීවන වෘත්තියේ නියැළුනු භූමිය මෙයයි’ යන සාමාන්‍ය දෙමළ ජනයා සිය ප‍්‍රයෝගික ජීවිතය තුළ ලබන අත්දැකීම් ඇසුරෙන් නිර්මානය වන විඥානයයි. දෙවන සංඝඨකය වන්නේ දෙමළ දේශපාලන ප‍්‍රභූන් විසින් ගොඩනංවනු ලබන දෙමළ ජාතිකවාදී කතිකාවයි. 1956 ට පෙර කාලයේ මේ සංඝඨක දෙක අතර එතරම් කිට්ටු සම්බන්ධයක් පැවැතියේ නැත. නමුත් 1956 න් පසුව ක‍්‍රමක‍්‍රමයෙන් රාජ්‍යය සිංහල-බෞද්ධකරණය වීමේ තීව්රතාවය නිසා සහ එහි ඇතැම් ආසන්න සහ පොදුජනයාට ක්ෂණිකව දැනෙන ප‍්‍රතිවිපාක නිසා (සිංහල රාජ්‍ය භාෂාව වීම, වාර්ගික හිංසනයන්, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ගොවිජනපද ව්‍යාප්ත වීම වැනි) එතෙක් ප‍්‍රභූතලයේ පැවැති ජාතිකවාදී විඥානය කලින් කී පොදුජන විඥානය සමඟ සුසම්බන්ධ කොට වර්තමාන පොදුජන පදනමක් සහිත දෙමළ ජාතිකවාදය ගොඩනැංවීමට දෙමළ ජාතිකවාදීන්ට හැකිවිය.

මෙය හරියට යුරෝපීය වර්ගවාදී ප‍්‍රහාරයන්ට ලක්වීම හරහා යුදෙව් ජනයා මුහුණ දුන් පොදු ඉරණම සියොන්වාදය (Zionism) හරහා පොදු රාජ්‍ය විඥානයක් බවට පත්වූවා වැනිය. ඇත්ත වශයෙන්ම දෙමළ රාජ්‍ය විඥානය දෙමළ පොදුජනයා අතරට ගෙනයාමේ ගෞරවය හිමිවන්නේ චෙල්වනායගම්ට නොව සිංහල ජාතිකවාදීන්ට යි. යුරෝපීය වර්ගවාදී ප‍්‍රහාර මගින් යුදෙව්වන් සිය ‘පොරොන්දු දේශයට’ පළවා හරිනු ලැබුවා මෙන් සිංහල වර්ගවාදී ප‍්‍රහාර මඟින් දෙමළ ජනයා සිය ඊනියා ‘නිජබිමට’ පළවා හරිනු ලැබීය.

මෙහිදී මගේ මූලික තර්කය වන්නේ කිසියම් ප‍්‍රජාවක් තුළ රාජ්‍ය විඥානයක් ඇතිවීම ක‍්‍රියාවලියක් බවයි. එයින් මා අදහස් කරන්නේ ‘කටුවාවල ජනයාටත් රාජ්‍ය විඥානයක් ඇති වුවහොත් අපි කුමක් කරමු ද?’ වැනි ප‍්‍රශ්න එතරම් ප‍්‍රඥාගෝචර ඒවා නොවන බවයි. මා ජීවත් වන්නේත් කටුවාවලට කිට්ටුව නිසා කටුවාවල ජනයාට තම ප‍්‍රදේශය තුළ වෙනම රාජ්‍යයක් ඇතිකරගැනීමේ රාජ්‍යවිඥානයක් ඇතිවීමට අවශ්‍ය මූලික කොන්දේසි නොමැති බව මගේ නිරීක්ෂණයයි. කෙසේ වෙතත් ශිරන්ත චාමර කටුවාවල පිළිබඳ උදාහරණය මතු කරන්නේ වෙනත් කරුණක් අවධාරණය කිරීමට බව මම දනිමි. එනම් ප‍්‍රජා කණ්ඩායම් තුළ රාජ්‍යයන් බිහිවීම ඉවසීමේ සීමාව කුමක්ද යන්නයි. එය වැදගත් ප‍්‍රශ්නයකි. මේ සම්බන්ධව සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට මේ දිනවල ඉන්දියාවේ මතභේදාත්මක ගැටලූවක් බවට පත්වී ඇති ආන්ද්‍ර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙන් තෙලෙඟානා ප‍්‍රදේශය වෙන්වී වෙනම ප‍්‍රාන්තයක් බවට පත්වීමට දරණ උත්සාහය කදිම උදාහරණයක් වුවත් ඒ ගැන කතා කිරීමට මෙහි දී අවකාශ නොමැත.

කෙසේ වෙතත් මගේ තර්කය වන්නේ දෙමළ ජනයා තුළ රාජ්‍ය විඥානයක් ඇතිවීම අපට මඟ හැරයා නොහැකි තත්වයක් බවයි. එය ‘කටුවාවල ජනයාගේ රාජ්‍ය අභිලාෂය’ වැනි උපකල්පිත තත්වයන් ඇසුරෙන් අවතක්සේරු කළ නොහැක්කකි. කෙසේ වෙතත් සිංහල ජාතිකවාදීන් මුහුණදෙන උභතෝකොටිකය වන්නේ දෙමළ ජාතිකවාදයට විරුද්ධ සිංහල ජාතිකවාදීන්ගේ හඬ ප‍්‍රබල වන්නට වන්නට දෙමළ ජනයාගේ රාජ්‍ය විඥානය ශක්තිමත් වීමයි.

මෙ සියල්ල කියූ පසුවත් මගේ ෆේස්බුක් සම්භාෂකයින් මගෙන් මෙසේ විමසනු ඇත: ‘‘හරි ඉතින් දෙමළ ජනයාට දෙමළ වීම නිසාම තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියල තවම කිව්වෙ නැහැනෙ!’’ තමාම නිර්මාණය කරගන්නා ලද මිත්‍යාප‍්‍රබන්ධ ලෝක තුළ තනිවී සිටීමට මිනිසුන් කැමතිය. එය මිනිස් ගතියකි.

නිර්මාල් රංජිත් දේවසිරි

http://demalageprashnaya.wordpress.com/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: