දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (5 කොටස)

4 Nov
දෙමළාගේ ප‍්‍රශ්නය පිළිබඳ ෆේස්බුක් සංවාදය

Bracha_L._Ettinger2මෙම ලිපි මාලාවට ප‍්‍රතිචාර දක්වන නලින් ද සිල්වාට හිතවත් බව පෙනෙන බොහෝ ප‍්‍රතිචාරකයින් කරන දෙයක් වන්නේ නලින් ද සිල්වා ගේ අදහස් පද්ධතියේ එන යම් යම් මූලික දෑ මට යලි යලිත් මතක් කර දීමයි. මේ අය බොහෝ විට සිතා සිටින බව පෙනෙන්නේ මා හට නලින් ද සිල්වා ගේ අදහස් පිළිබඳව ප‍්‍රමාණයක් අවබොධයක් නොමැති බවයි. මා සමහර දේ කියන්නේ ඒ නොදැනුවත් කම නිසා බව ඔවුන් ඇත්තටම සිතන බව පෙනේ. මේ නිසා මේ අය කරන බොහෝ ප‍්‍රතිචාර එතරම් තේරුමක් ඇති දේ නොවන බව මගේ හැඟීමයි. නමුත් ඔවුන් එසේ නොසිතන බව පෙනෙන අතර ඒවා ට මගෙන් විස්තරාත්මක පැහැදිළි කිරීම් ද බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් මා මගේ ප‍්‍රකාශ කර ඇත්තේ ඒ අය මට ප‍්‍රතිචාර වශයෙන් ඉදිරිපත් කරන දේ සැලකිල්ලට ගෙන බව ප‍්‍රකාශ කලා කියා එතරම් ප‍්‍රයොජනයක් අත්වන්නේ ද නැත. කරන්නට දෙයක් නැත. තමන්ට වඩා මුළුමනින්ම වෙනස් ඥානන විශ්වයක් තුළ පමණක් නොව ප‍්‍රතිවිරුද්ධ සහ පසමිතුරු දේශපාලන ව්‍යාපෘතියක් තුළ සිටින පිරිසක් සමඟ සංවාද කිරීමට උත්සාහ දැරීමේ දී මේ අත්දැකීමෙන් මඟ හැර යාමට නොහැක.

කෙසේ වෙතත් පසුගිය ලිපියේ මා ප‍්‍රස්තූත ගතකල ‘දෙමළාගේ ප‍්‍රශ්නයට’ ශිරන්ත චාමර හොඳ පිළිතුරක් සපයා තිබුණි. ඒ ලිපියේ එන බොහෝ කරුණු වලට ඉඩ ලැබෙන ලෙස ප‍්‍රතිචාර දැක්වීමට පොරොන්දු වන අතර ලිපියේ මා දකින ප‍්‍රධාන ගැටලූවකට ප‍්‍රතිචාර දැක්වීමට උත්සාහ කරමි.

මෙහි කේන්ද්‍රීය ගැටලූව වන්නේ අනෙකාගේ අභිලාෂය අනෙකාට රුචි ආකාරයට භාර ගැනීමට මා සූදානම් ද යන්නයි. මීට අදාල වන ප‍්‍රශ්නයක් තවත් ෆේස්බුක් ප‍්‍රතිචාරකයෙක් වන චරිත කාරියවසම් මතු කරයි. දෙමළාගේ ප‍්‍රශ්නය ගැන මගේ ප‍්‍රස්තුතගත කිරීම ගැන ඔහු අසන්නේ එය subjective ද objective ද කියාය. එය subjective/objective සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂය තුළ තක්සේරු කළ හැක්කක් නොවේ. එය ආචාරධාර්මික (ethical) ස්ථාවරයකි. දේශපාලනය යනු ආචාරධාර්මික ක‍්‍රියාවකි. උදාහරණයක් ලෙස මා ‘සමාජවාදය’ වෙනුවෙන් පෙනී සිටින්නේ එය subjective ද objective ද යන වග විමසා බලා නොව එය ආචාරධාර්මික වශයෙන් නිවැරදි නිසාය. බෞද්ධ ප‍්‍රවේශය තුළ කියනවා නම් එහි පදනම ‘සච්ච’ නොව ‘කුසල’ වේ.

මා යෝජනා කළේ අපගේ ‘දෙමළ අනෙකා’ ගේ ප‍්‍රශ්නය සම්බන්ධව අපගේ ස්ථාවරයේ පදනම විය යුත්තේ අප ඒ ගැන සිතන ආකාරය නොව ඔවුන් ඒ ගැන සිතන ආකාරය බවයි. ශිරන්ත චාමර ඇතුළු පිරිස ඊට එකඟ නැත. ඔවුන්ට අනුව දෙමළ ජනයාට ‘රාජ්‍යයක් ඇතිකර ගැනීම සඳහා වූ දේශපාලන විඥානයක්’ සඳහා වූ අයිතිය සලකා බැලිය යුත්තේ සිංහල-බෞද්ධයාගේ කොන්දේසි වලට යටත්වය. ප‍්‍රශ්නය ඇත්තේ මෙම ප‍්‍රවේශයේ ය.

කෙසේ වෙතත් ‘රාජ්‍යයක් ඇතිකර ගැනීම සඳහා වූ දේශපාලන විඥානයක්’ ඇතිකර ගැනීමට දෙමළාට ඇති අයිතිය පිළිබඳ කාරණය වැඩි දුරටත් සාකච්ඡුා කිරීම අවශ්‍ය බවයි මෙයින් පෙනී යන්නේ. මෙහිදී ගැටලූව වන්නේ ප‍්‍රජාවකගේ ‘රාජ්‍යමය විඥානයක්’ සුජාතකරණය කරන්නේ කෙසේ ද යන්නයි. මම මෙය සිද්ධි (cases) දෙකක් ආශ‍්‍රයෙන් ඊලඟ ලිපියේ වැඩි දුරට සාකච්ඡුා කිරීමට කැමැත්තෙමි. එම සිද්ධි දෙක නම් ඊශ‍්‍රායල්-පලස්තීන ප‍්‍රශ්නය හා ලංකාවේ සිංහල-දෙමළ ප‍්‍රශ්නය යන සිද්ධි දෙකයි. දැනට මගේ ප‍්‍රතිචාරකයින් මතු කර ඇති තවත් අමතර ප‍්‍රශ්න දෙකක් වෙත මගේ කෙටි නිරීක්ෂන ඉදිරිපත් කරමි.

ෆේස්බුක් ප‍්‍රතිචාරක කැළුම් සංජීව අබේවික‍්‍රම පහත දැක්වෙන ප‍්‍රතිචාරය දක්වා තිබුණි.
‘ආචාර්ය කාර්තිගේ [ඉන්ද්‍රපාල] ගේ 1965 දී නිමකරන ලද ආචාර්ය උපාධි නිබන්ධනයේ එන පහත කොටසින් අපට තේරුම් ගත හැක්කේ කුමක් ද? එය මෙසේ කියයි:

‘‘දොළොස් වෙනි ශත වර්ෂයට පසු සහ බොහෝ විට ඊට පසුව පවා දකුණු ඉන්දියාවේ හා ලංකාවේ දෙමළ බෞද්ධයන් සිටි බව සත්‍යයක් වන අතර, අනුරාධපුර යුගයේ යාපනය අර්ධද්වීපයේ පදිංචි වූ බෞද්ධයින් සිංහලයින් වූ බව පෙන්වා දීමට සාක්ෂි තිබේ. අපි මෙහිදී අර්ධද්වීපයේ දෙමළ ජනාවාස ඇතිවීමට පෙර සිංහල පදිංචිකරුවන් එහි විසූ බවට නොවරදින ලෙස කරුණු දක්වන ස්ථානනාම (toponymic) සාක්ෂි දක්වමු.’’
මෙම අදහස උතුරේ සම්ප‍්‍රදායික දෙමළ නිජභූමි පිළිබඳ අදහසට පරස්පර නොවේ ද? අප මේ අදහස වෙනුවෙන් පෙනී සිටින අයත් විවේචනය නොකළ යුතු ද?’

කැළුම්අබේවික‍්‍රම ගේ අදහස ආකාර කීපයකින් විචාරයට ලක් කිරීමට පුළුවන. අපගේ සාකච්ඡුාවට අදාලව ගත් කල් හී මේ සම්න්ධයෙන් මගේ පළමු විචාරය මෙයයි:

සම්ප‍්‍රදායික දෙමළ නිජබිම් පිළිබඳ වූ දෙමළ ජාතිකවාදී කියාපෑම් සම්බන්ධව මගේ ප‍්‍රවේශය අරබයා කිසිවක් මේ මගින් කියැවෙන්නේ නැත. මෙය තව දුරටත් පැහැදිළි කළ යුතුය. ඉන්ද්‍රපාලගේ මේ ප‍්‍රකාශය සියයට සියයක් ‘සත්‍ය’ යැයි මොහොතකට සිතමු. එය සත්‍ය යැයි භාරගතහොත් සම්ප‍්‍රදායික දෙමළ නිජබිම් පිළිබඳ දෙමළ ජාතිකවාදී කියාපෑම් සම්බන්ධයෙන් වූ මගේ අදහස වෙනස් කිරීමට සිදුවේ ද? කිසිසේත්ම නැත. එයින් අදහස් වන්නේ වන්නේ ‘ඓතිහාසික සත්‍යය’ කුමක් වුවත් මා මගේ ‘විශ්වාසයට’ හිතුවක්කාරී ලෙස ඇලී ගැලී සිටින බව ද? කිසිසේත් ම නැත. දෙමළ ජාතිකවාදියෙකුට මෙම ‘ඓතිහාසික සත්‍යය’ පිළිබඳ කරුණු වැදගත් වීමට පුළුවන. එසේම දෙමළ ජාතිකවාදියෙකු ඉදිරියේ කැළුම්ගේ මෙම තර්කය නැඟුවහොත් ඔහු ඒ පිළිබඳ ඓතිහාසික පැහැදිළි කිරීමක් කිරීමට ද ඉඩ තිබේ.

නමුත් මා ‘ඓතිහාසික නිජබිම්’ පිළිබඳ දෙමළ ජාතිකවාදී කියා පෑම දකින්නේ සිය දේශපාලන අභිලාෂ සුජාත කරණය කිරීම සඳහා ගොඩනංවා ඇති මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් (mythical construction) ලෙසයි. මා මේ ප‍්‍රකාශය කළ වහාම මගේ සිංහල ජාතිකවාදී කඳවුරේ ප‍්‍රතිචාරකයින් ‘‘ ඕක තමයි අපිත් කියන්නේ’’ යයි කියනු ඇත. එසේ කීමට කලබල වීමට අවශ්‍ය නැත. මා ප‍්‍රකාශ කරන්නේ ‘ඓතිහාසික දෙමළ නිජබිම්’ පිළිබඳ ප‍්‍රවාදය මෙන්ම ඊට විරුද්ධව සිංහල-බෞද්ධ ජාතිකවාදී පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති ‘උතුරු නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය’ පිළිබඳ ප‍්‍රවාදය ද මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් බවයි.

දැන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රකාශකයෙක් කියනු ඇත්තේ දෙවනුව කී ප‍්‍රවාදයට පක්ෂව වැඩිපුර සාධක ඇති බවයි. නලින් ද සිල්වා කියනු ඇත්තේ එම ප‍්‍රවාදය වඩා සංගත බවයි. එම ප‍්‍රකාශයට පදනමක් තිබෙන බව මම ද පිළිගනිමි. මගේ වචන වලින් කියනවා නම් ‘උතුරු නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය’ පිළිබඳ ප‍්‍රවාදයට ඇති කතිකාමය ශක්තිය ‘ඓතිහාසික දෙමළ නිජබිම්’ පිළිබඳ ප‍්‍රවාදයට ඇති කතිකාමය ශක්තියට වඩා වැඩිය. ඊට හේතුව මෙසේය: ලංකාවේ ‘මුල් ඓතිහාසික’ යුග වලට අදාලව දැනට ඉතිරි වී ඇති දේ බොහොමයක් ජනයාගේ ආගමික ජීවිතයට සම්බන්ධ දේවල් ය. ඒවා මත ලෙහෙසියෙන් මකා දැමිය නොහැකි ලෙස බෞද්ධ මුද්‍රාව තබා තිබේ. එසේම නලින් ද සිල්වා විසින් ‘අර්ධ-වෛදිකයින්’ ලෙස හඳුන්වනු උතුරු ඉන්දියාවේ සිට සංක‍්‍රමණය වූ ජනයා විසින් භාවිත කරන ලද භාෂාව අධිපති භාෂාව, විශේෂයෙන්ම පාලක පංතියේ භාෂාව, බවට පත්වී තිබූ අතර එම භාෂාව සහ ඊට කිට්ටු ඥාති සබඳතා සහිත අනෙක් උතුරු ඉන්දීය සම්භවයක් සහිත භාෂාව වන පාලි භාෂාව අධිපති ආගමික කතිකාව පුනර්නිෂ්පාදනය කරන භාෂාවන් බවට පත්වී තිබුණි. මෙම භාෂාමය සහ ආගමික යථාර්ථය 19 වන ශතවර්ශයේ අග දී ආරම්භ වූ සිංහල ජාතිකවාදී කතිකාව ගොඩනැංවීමේලා ශක්තිමත් කතිකාමය අමුද්‍රව්‍ය සැපයීය.

මෙම කතිකාව කොයිතරම් ශක්තිමත් එකක් වූවා ද යත් දේශපාලන වශයෙන් සිංහල-බෞද්ධ ජාතිකවාදය ප‍්‍රතික්ෂේප කලා වූ ඇතැම් බුද්ධිමතුන්ගේ පවා බුද්ධිමය ක්ෂිතිජය බවට පත්වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදය යි. ජී.සී. මෙන්ඩිස් වැනි සිංහල-බෞද්ධ ඉතිහාසකරණයේ ප‍්‍රබල විවේචකයෙකුගේ පමණක් නොව මෙහි දී අපගේ සාකච්චාවට භාජනය වන කේ. ඉන්ද්‍රපාලගේ මෙන්ම සින්නප්පා අරසරත්නම් වැන්න්ගේ ද බුද්ධිමය ක්ෂිතිජය වන්නේ මෙම සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාවයි. ඉන්ද්‍රපාල වැන්නෙකුගේ සිංහල කේන්ද්‍රීය ප‍්‍රවේශය කැළුම් අබේවික‍්‍රම විසින් ඉහත උපුටා දක්වන 1965 දී සම්පාදිත ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ පමණක් නොව 1961 දී මුල්වරට ප‍්‍රකාශිත අමරදාස ලියනගමගේ හා රණවීර (ලෙස්ලි) ගුණවර්ධන විසින් සංස්කරණය කරන ලද ‘අනුරාධපුර යුගය’ කෘතියේ 1965 දී පළවූ දෙවෙනි සංස්කරණයට ඔහු විසින් සම්පාදිත ‘සමාජ තොරතුරු’ යන පරිච්චේද යේ ද දක්නට පුළුවන.

මෙම සිංහල කේන්ද්‍රීය ප‍්‍රවේශය දෙමළ ප‍්‍රශ්නයට අදාලව පමණක් නොව කොහොමත් රජරට ශිෂ්ටාචාර සමයේ සමාජ සැකැස්ම පිළිබඳව සපයන දැනුම බෙහෙවින් සීමිතය. ඉතාම සිත්ගන්නා සුළු කරුණ වන්නේ එම ප‍්‍රවේශය නලින් ද සිල්වා ම පවා මෙකල රජරට සමාජයේ ජන සංයුතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඇතැම් අදහස් වලට පරස්පර වේ. මෙනිසා මගේ මූලික තර්කය වන්නේ ඉතිහාසඥයා වාර්ගික වශයෙන් සිංහල ද දෙමළ ද යන්න නොතකා පේරාදෙණි ඉතිහාස ගුරුකුළය විසින් සම්පාදනය කරන ලද ඉතිහාස දැනුමෙහි සීමාව සිංහල-බෞද්ධ ජාතිකවාදය වූ බවයි.

අපගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින් ලෙහෙසියෙන් තෘප්තිමත් කළ නොහැකි නිසා මේ පිළිබඳව තව දුරටත් සාකච්චා කිරීම අවශ්‍ය වේ. මෙහි දී මගේ ප‍්‍රවාදය සාධාරණිකරණය කරණු පිනිස මා ඉදිරිපත් කරන න්‍යායික ප‍්‍රස්තූතයක් මෙසේය: කතිකාවක මිත්‍ය ප‍්‍රබන්ධමයභාවය හෝ ‘යථාර්ථවාදීභාවය’ (mythical vs real) ස්ථාපිත කළ හැක්කේ කතිකාව ගොඩනැංවීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍යයන්හී කරුණුමයභාවය (factuality) පදනම් කරගෙන නොව කතිකාවේ අරමුණ සහ නැඹුරුව පදනම් කරගෙනයි. පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි විසින් රචිත ‘සිංහලයේ විමුක්තිදායකයා දුටුගැමුණු මහරජතුමා’ කෘතිය මනා උදාහරණයක් සපයයි. මෙම කෘතිය සඳහා කරුණුමය භාවය තහවුරු කළ හැකි තොරතුරු විශාල ප‍්‍රමාණයක් යොදාගනු ලැබ ඇත. එහෙත් එම කෘතියේ මිත්‍ය ප‍්‍රබන්ධමයභාවය පවතින්නේ දුටුගැමුණු පුරාවෘතයේ මූලික හරය ප‍්‍රශ්න කීරීම (problematize) සිදු නොවීම තුළයි.

මෙහි දී මට මගේ තවත් ෆේස්බුක් ප‍්‍රතිචාරකයෙකුට ප‍්‍රතිචාර දක්වමින්ම සාකච්ඡුාව ඉදිරියට ගෙනයාමට පුළුවන. දර්ශන කස්තුරිරත්න මෙසේ ප‍්‍රශ්න කරයි:

“ලෝකේ කාටවත් objective orientation එකක් නෑ. හැමෝටම subjective orientation එකක් තිබෙනවා. වෙනස සමහරු කියනවා තමන්ට subjective orientation එකක් නෑ කියලා. එසේ කීම තුළම තියෙන්නේ subjective orientation එකක්. එහි අරමුණ අනිත් අයගේ මතයට වඩා තමන්ගේ මතය විශ්වාසනීයයි කියලා (සාධක ඉදිරිපත් කිරීමට පෙරම) පූර්ව පිළිගැනීමක් ඇතිකරගැනීම. බටහිර විද්‍යාවේ දර්ශනයේත්මේ පරණ කතාව දැන් පිළිගැනෙන්නේ නෑ.”

මෙහිදී දර්ශන කස්තුරිරත්න මගේ objective orientation පිළිබඳ අදහස ‘මනසින් බාහිරව වාස්තවික යථාර්ථයක් තිබේද නැද්ද’ යන දාර්ශනික ගැටලූව සමඟ පටලවාගෙන තිබෙන බව පෙනේ. එය බරපතල වැරැද්දකි. මගේ සාකච්චාව පවතින්නේ එම ගැටලූව තුළ නොව. සුභාෂිතයේ එන පහත කවිය ආශ‍්‍රයෙන් මගේ තර්කය තව දුරටත් පැහැදිළි කිරීමට පුළුවන. කවිය මෙයයි:

ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

මේ කවිය ආශ‍්‍රයෙන් මගේ ප‍්‍රස්තූතය යලි ප‍්‍රකාශ කරනවා නම් ඒ මෙසේය. ‘‘වාස්තවික යථාර්ථයක් කියා දෙයක් තිබුනත් නැතත් එවැන්නක් තිබේ ය කියා උපකල්පනය කොට විමර්ශනයේ යෙදීමය මා වාස්තවිකත්වය කෙරේ නැඹුරුවක් ඇතිකර ගැනීම යනුවෙන් අදහස් කරන්නේ. යම්කිසි විමර්ශනයකදී යම් කිසි ප‍්‍රස්තූතයක් අසත්‍ය වීමේ විය හැකියාවක් තිබේ නම් එය වීසිකර දැමීමට එහි දී විමර්ශකයාට හැකිවිය යුතුය.’’ කාල් පොපර් අසත්‍යකරණය (falsification) ලෙස හඳුන්වනු ලැබුවේ මෙයයි. සෑම දැනුම් කතිකාවකදීම මෙම ක‍්‍රමය අනුගමනය කිරීමට නුපුළුවන. ආගමික කතිකාවක් තුළ මෙවැනි ප‍්‍රවේශයකට ඉඩක් ඇත්තේ නැත. උදාහරණයක් ලෙස මහනුවර ඇති ‘දන්ත ධාතූන් වහන්සේ’ ලෙසින් බෞද්ධ ආගමික කතිකාව තුළ හැඳින්වෙන වස්තුව objective orientation එකක් සහිත විමර්ශනයකට (උදාහරණ වශයෙන් ඞීඑන්ඒ පරීක්ෂාවකට) භාජනය කිරීමට එම ආගමික ප‍්‍රජාව කැමති නොවේ. එනම් ‘දන්ත ධාතූන් වහන්සේ’ පිළිබඳ බෞද්ධ ආගමික කතිකාව තුළ කෙරෙන ඕනෑම විමර්ශනයක මූලික නැඹුරුව විෂය කේන්ද්‍රීය (subjective) එකකි.

මෙවැනි වාස්තවික නැඹුරුවක් සහිත දැනුම් ගවේශණ කි‍්‍රයාවලියක් අනුගමනය කරන්නේ කෙසේ දැයි දර්ශන කස්තුරිරත්න ඇසීමට ඉඩ තිබේ. ශාස්ත‍්‍රීය විධික‍්‍රම ගොඩනැංවී ඇත්තේ ඒ සඳහාය. දර්ශන නිවැරදිව කියන ආකාරයට විෂය මූලික නැඹුරුතා මග හැරිය නොහැක. නමුත් එය ‘මගහරවා ගත හැක්කේ’ විධික‍්‍රමය සහ විමර්ෂන ක‍්‍රියාවලිය අතර නිරන්තර සහ විචාරාත්මක සංවාදයක් පවත්වාගැනීම හරහාය. අවසාන වශයෙන් අප පදනම් වී ඇති මූලික ප‍්‍රස්තූත වීසිකර දැමීමට මානසික සූදානමක් ඇතිකරගැනීම හරහාය. උදාහරණයක් ලෙස මාක්ස්වාදී කතිකාව තුළ එවැනි බැහැරකරනු ලැබූ ප‍්‍රස්තූත තිබේ. පංති ප‍්‍රතිවිරෝධතාවය සහ විමුක්ති දේශපාලනය අතර සම්භාව්‍ය මාක්ස්වාදී කතිකාවේ ඇතිකර තිබූ සම්බන්ධය ෂන්තාල් මූෆ් සහ අර්නෙස්ටෝ ලැක්ලාවු වැන්නන්ගේ මූලිකත්වයෙන් දියත් වූ පශ්චාත් මාක්ස්වාදී කතිකාව මගින් බැහැර කරනු ලැබ ඇත. එසේම ‘ආසියාතික නිෂ්පාදන මාදිලිය’ යන සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යාය ද ලෙස්ලි ගුණවර්ධන, ඉර්ෆාන් හබීබ් වැන්නන් විසින් බැහැර කරනු ලැබ ඇත.

නිර්මාල් රංජිත් දේවසිරි

http://demalageprashnaya.wordpress.com/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: