දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වා ට පිළිතුරු (3 කොටස

4 Nov

 

 

 

දෙමළ ප‍්‍රශ්නය වාර්ගිකහරණයකිරීම

Bracha_L._Ettingerමෙම ලිපි මාලාවේ පසුගිය කොටසේ දී සාකච්ඡාවට භාජනය කරණු ලැබූ ශිරන්ත චාමර ගේ විසඳුම් යෝජනාව තුළ විභවාත්මක වශයෙන් අඩංගු දෙයක් වන්නේ දෙමළ ප‍්‍රශ්නය වාර්ගිකහරණයකිරීමකි (de-ethnicizeation). මා එසේ කියන්නේ ‘විසඳුම් ප‍්‍රවේශයකදී සෑම මිනිස් ආත්මයක් තුළම ඇත්තා වූ මනුෂ්‍යත්වය කෙරේ විශ්වාසය තැබිය යුතු’ බව ඔහු ප‍්‍රකාශ කරන නිසාවෙනි. නමුත් ඇත්ත වශයෙන්ම මෙම විභවය එහි තාර්කික අන්තයට නොයන අතර අවසානයේ දී සිදුවන්නේ යලිවාර්ගිකකරණය කිරීමකි (re-ethnicization ). මක්නිසාද යත් ඔහු යෝජනා කරන ‘ස්වභාවික ජන සම්මිශ‍්‍රණය’ සිංහල ජාතියේ විකාශයක් ලෙස නිර්දේශ කෙරෙන බැවිනි.

මෙ වැනිම ආකාරයේ වාර්ගිකහරණයක ස්වරූපයෙන් ආරම්භ කොට පසුව යලිවාර්ගිකකරණය කිරීමක් නලින් ද සිල්වා දෙමළ ප‍්‍රශ්නය දකින ආකාරය තුළ ද හඳුනාගත හැක. නලින් ද සිල්වා ගේ මෙම වාර්ගිකහරණ නැඹුරුව අඩුම තරමින් අවස්ථා දෙකකදී පැහැදිළි වශයෙන්ම හඳුනාගැනීමට පුළුවන. එකක් නම් මෙම ලිපි මාලාවේ මුල් කොටස තුළ සඳහන් කරනු ලැබ ඇති ‘දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන අසාධාරණකම්’ පිළිබඳව ඔහු කරන සාකච්ජාවයි. විශේෂයෙන්ම එම කොටසේ සඳහන් කරනු ලැබ ඇති කපිල පීරිස්ගේ බුද්ධිමය මැදිහත් වීම් මාලාව මගින් උත්සාහ දරණු ලැබ ඇත්තේ ජාතික සමගි කතිකාව විසින් ඉදිරිපත්කරනු ලැබූ දෙමළ ජනයාට තිබුනා යැයි කියන ‘වාර්ගික මූලයක් සහිත දුක්ගැනවිලි’ ‘වාර්ගිකහරණය’ කිරීමයි. එනම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, වියලි කලාපයේ ජනපද ඇතිකිරීම, විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ප‍්‍රමිතිකරණය වැනි කි‍්‍රයා මාර්ග දෙමළ ජනතාවට වෙනස්කම් කිරීම සඳහා ගනුලැබූ පියවර ලෙස සැලකීමට පදනමක් නැත යන තර්කයයි. මේ තර්කය නගාලනු පිණිස කපිල පීරිස් විසින් 1995 දී ‘කාලය’ සඟරාවට සම්පාදනය කරනු ලැබූ ලිපි මාලාවේ අඩංගු කරුණු හා ඉදිරිපත් කරනු ලැබ ඇති තර්ක බෙහෙවින් අභියෝගයට ලක්කළ හැකි ඒවාය. ඒ පිළිබඳව පසුව සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි. දැනට අපි අපගේ සාකච්ඡාවේ පහසුව සඳහා එහි එන මූලික තර්කය, එනම් මෙම ඊනියා වාර්ගික අසාධාරණකම් වාර්ගිකහරණය කිරීමේ ප‍්‍රවේශය සමඟ එකඟ වෙමු.

නමුත් මෙහිදී ගැටලූව වන්නේ නලින් ද සිල්වාගේ (සහ ඔහුගේ අනුගාමිකයින්ගේ) ප‍්‍රවේශය තුළ දෙමළ ජාතිකවාදයේ වාර්ගික ප‍්‍රවේශය තියුණු පරීක්ෂාවකට භාජනය කොට දෙමළ ජාතිකවාදී කියාපෑම් වාර්ගිකහරණයකට ලක්කරන අතර සිංහල ජාතිකවාදයේ වාර්ගික ප‍්‍රවේශය ආරක්ෂා කරගන්නවා පමණක් නොව තව දුරටත් ශක්තිමත් කිරීමේ පරිශ‍්‍රමයක නියැලීමයි. මෙය මා මුලින් සඳහන් කළ දෙවන සාධකය හරහා ඉතා හොඳින් සාකච්ඡාවට භාජනය කිරීමට පුලූවන, එනම් ලංකාවේ දෙමළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ නලින් ද සිල්වා ගේ කතිකාවයි.

නලින් ද සිල්වා ට අනුව ලංකාවේ වර්තමාන ස්ථිර දෙමළ ජනාවාසවල ආරම්භය වන්නේ දාහත්වන ශතවර්ශයේ දී ලංදේසීන් විසින් දකුණු ඉන්දියාවේ සිට දුම්කොළ වැවීම සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද ජනයාය. නලින් ද සිල්වා තමන් විසින් ඉදිරිපත් කරනු ලබන සෙසු අදහස් මෙන්ම මෙය ද ඉදිරිපත් කරන්නේ තමන්ගේ ම ප‍්‍රවාදයක් ලෙසටයි. ඔහු ‘ප‍්‍රවාදය’ යන පදය භාවිත කරන්නේ theory යන ඉංග‍්‍රීසි වචනයෙන් අදහස් වන අරුත ලබා දීම සඳහාය. (මා සාමාන්‍යයෙන් theory යන පදය සඳහා භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ඒ සඳහා භාවිතා වන ‘න්‍යාය’ යන වචනයයි.) එසේ වුවත් ඇත්ත වශයෙන්ම මේවා සැලකිය හැක්කේ theories ලෙස නොව hypothesis එනම් උපන්‍යාස ලෙසටයි. උපන්‍යාස යනු විධිමත් පරීක්ෂාවකින් පසු තහවුරු කිරීමට හෝ බැහැර කිරීමට සූදානමින් ඉදිරිපත් කරන තාවකාලික ප‍්‍රකාශයකි.

ඒ අනුව ගත් කල ‘ලංකාවේ දෙමළ ජනාවාසවල ආරම්භය’ පිළිබඳ නලින් ද සිල්වාගේ අදහස විධිමත් ලෙස තහවුරු කිරීමට හෝ බැහැර කිරීමට සූදානමින් තිබෙන උපන්‍යාසයක් පමණි. ඔහු තම උපන්‍යාසය තහවුරු කිරීම පිණිස විශ්වසනීය මූලාශ‍්‍ර සහිත කිසිදු සාක්ෂියක් මේ වනතුරු මා දන්නා තරමින් ඉදිරිපත් කර නැත. ඒ අදහසට එකඟ විය හැක්කේ ඒ අදහස භාර ගැනීමට දෘෂ්ටිවාදීමය වශයෙන් සූදානමක් ඇති අයෙකුට පමණි. සිංහල බෞද්ධ ජාතිකවාදී ලෝක දැක්ම තුළ සිටින අයට මෙම අදහස තහවුරු නොකළ ආකාරයෙන් ම පවා භාර ගැනීමට හැකියාවක් ඇත්තේ එම අදහස් ඒ ජනයාගේ ෆැන්ටසිමය ආශාව සමග හරියටම සමපාත වන බැවිණි.

මේ ගැටලූව සම්බන්ධව නලින් ද සිල්වාගෙන් ම උදාහරණයක් සැපයීමට කැමැත්තෙමි. ඔහු මෙසේ කියයි:

මුළු ලෝකයටම ශිෂ්ටාචාරය හා සංස්කෘතිය හඳුන්වා දුන්නේ හෙළයන් යැ යි කීමට ඇතැමුන්ට අවශ්‍ය වෙයි. සමහර විට ඒ එසේ විය හැකි ය. එහෙත් එසේ කීම සඳහා අපට අවශ්‍ය තරම් සාධක නැත. ඇතැමුන් එ සේ කියන්නේ ඉතා ම අවංකව ය. ඔවුහු ඒ බව විශ්වාස කරති. ඒ සඳහා ජනප‍්‍රවාදයෙහි හා රාමායණය වැනි ග‍්‍රන්ථවල ඇති කරුණු යොදාගනිති. ඒ කරුණුවලට විවිධ අර්ථකථන දෙති. එහෙත් මේ කරුණු බොහොමයක් විෂ්ණු පුරාණය වැනි වෛදික හා හින්දු ග‍්‍රන්ථවලින් ලබාගැනීම තරමක ප‍්‍රශ්නයකි (අපේ ප‍්‍රවාද 3, පිටුව 11).

මෙහි දී නලින් ද සිල්වා ‘ඇතැමුන්’ යනුවෙන් හරියටම අදහස් කරන්නේ කව්රුන්දැයි ප‍්‍රකාශ කර නැත. එහෙත් ඉන් අදහස් කරන්නේ පොදුවේ කුමාරතුංග මුණිදාස ප‍්‍රමුඛ ‘හෙළ හවුළ’ සහ නිෂ්චිතවම විශේෂයෙන් ම මේ වකවානුවේ දී හෙළ හවුලේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ ඇතැම් අදහස් තවදුරටත් වර්ධනය කරමින් ඉදිරිපත්කරනු ලබන සූරිය ගුණසේකර බව මගේ අදහසයි.

මෙහි දී නලින් ද සිල්වා, කෙනෙක් යම් ප‍්‍රවාදයක් ඉදිරිපත් කිරීමේ දී සපුරාලිය යුතු ඇතැම් කොන්දේසි පිළිබඳව බැරෑරුම් අදහස් කීපයක් ඉදිරිපත් කරයි. ඒවා මෙසේය:

‘යම් කිසි ප‍්‍රවාදයක් (මෙහි දී මා අදහස් කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන් thesis යන අදහසයි) ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා ‘අවශ්‍ය තරම් සාධක’ තිබිය යුතුය. ඒසේ ප‍්‍රවාදයක් ඉදිරිපත් කිරීමේ දී ඒ ප‍්‍රවාදය මඟින් යෝජිත අදහස ඉදිරිපත් කිරීමට ඇති අවශ්‍යතාවය, ඒ පිළිබඳව ඉදිරිපත්කරන්නාට ඇති විශ්වාසය වගේ ම ඒ මගින් යෝජිත සංසිද්ධිය සත්‍යය වීමට ඇති වියහැකියාව ප‍්‍රමාණවත් නොවේ.’

නලින් ද සිල්වා ඉදිරිපත් කරන මෙම කරුණු නම් අනෙකක් නොව බටහිර යුදෙව් ක‍්‍රිස්තියානි විද්‍යාව ලෙස ඔහු විසින්ම ගැරහුම් ලබන විද්‍යාත්මක විධික‍්‍රමය තුළ කිසියම් ප‍්‍රස්තූතයක් තහවුරු කිරීම සඳහා අනුගමනය කරන ක‍්‍රමවේදයේ අංග ම වෙති. අපගේ මූලික ප‍්‍රශ්නයට ඒමට පෙර මේ සම්බන්ධයෙන් තරමක් විභාග කර බැලීම උචිත යයි සිතමි. ඒ මක් නිසා ද යත් නලින් ද සිල්වා විසින්මත් ‘ප‍්‍රවාද’ ලෙසින් ඉදිරිපත් කරනු ලබන අදහස් මෙම අවශ්‍යතා සම්පූර්ණ කරන ලද ඒවා ලෙස කිව නොහැකි වීමයි. සිංහල ජාතියේ සම්භවය පිළිබඳ ඔහුගේ සමස්ත විග‍්‍රහයේ ප‍්‍රධාන කුළුණක් වන්නා වූ පණ්ඩුකාභය යුගය පිළිබඳ අර්ථකථනය දෙස බැලූවහොත් පෙනී යන්නේ එහි දී ද මෙම අවශ්‍යතාවන් සම්පූර්ණ කොට නැති බවයි. එහි දී ‘පණ්ඩුකාභය යුගයේ’ දී නූතන සිංහල ජාතියේ ආරම්භයට පදනම වැටීම පිළිබඳ නලින් ද සිල්වාගේ ප‍්‍රවාදය මුළුමනින්ම පාහේ පදනම් වී තිබෙන්නේ විශ්වසනීයත්වය බෙහෙවින් ම ප‍්‍රශ්න කරනු ලැබිය හැකි තොරතුරු මතය.

විශේෂයෙන්ම ඊනියා ‘පණ්ඩුකාභය යුගය’ සම්බන්ධව තොරතුරු සපයන ප‍්‍රමුඛ මූලාශ‍්‍ර වූ පාලි වංශකතාවල මේ සම්බන්ධයෙන් එන තොරතුරුවල විශ්වසනීයත්වය ජී.සී. මෙන්ඩිස්, ලක්ෂ්මන් පෙරේරා වැනි වියතුන් විසින් බැරෑරුම් ලෙස ප‍්‍රශ්න කරනු ලැබ තිබේ. කෙසේ වෙතත් නලින් ද සිල්වා සිය ප‍්‍රවාදය ගොඩනැංවීමේ දී සිය තොරතුරු ප‍්‍රභවයන් සම්බන්ධව සිදුකරණු ලැබ ඇති මෙම අධ්‍යයන සමඟ විචාරාත්මක සාකච්ඡාවකට නොයයි.

එහි දී ඔහු සිය ප‍්‍රවේශය යුක්තිසහගත කරන්නේ ‘අවශ්‍ය වන්නේ ඉදිරිපත් කරන කරුණු එකිනෙක සමඟ සංගත විය යුතු’ බව ප‍්‍රකාශ කිරීමෙනි. කෙසේ වෙතත් ඉහත සඳහන් ‘ඇතැමුන්’ ගේ විධික‍්‍රමය පිළිබඳව විවේචනය කිරීමේදී ඔහු මෙම අභ්‍යන්තර සංගතභාවයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවන බව පෙනී යයි. මෙම ‘අතැමුන්’ ට අයත් යැයි සාධාරණ හේතු සහිතව අනුමාන කළ හැකි සූරිය ගුණසේකරගේ ඊනියා ‘රාවන යුගය’ පිළිබඳ ප‍්‍රවාදය විමසා බැලූවහොත් ඒවායේ ද නලින් ද සිල්වාගේ ‘පණ්ඩුකාභය යුගය’ පිළිබඳ ප‍්‍රවාදයේ ඇති ‘අභ්‍යන්තර සංගතභාවය’ තිබෙන බව පෙනී යයි. කෙසේ වෙතත් ප‍්‍රවාද දෙකේම නැත්තේ ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධව විශ්වසනීයභාවය සහතික කළ හැකි බාහිර විමර්ශකයන්ය. සූරිය ගුණසේකරට අදාලව එම අඩුව ප‍්‍රශ්න කරන නලින් ද සිල්වා තමාට අදාළව එම ප‍්‍රශ්න කිරීම නොකරයි.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: